සිරං­ගිකා ලොකු­ක­ර­විට silumina

නිහඬ මාරයකු ලෙස හැඳින්වෙන දියවැඩියාව යනු තවමත් සුව කිරීමට ක්‍රමයක් සොයාගෙන නැති, නමුත් පාලනය කළ හැකි බෝ නොවන රෝගයකි. අග්න්‍යාශය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට හෝ නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිත කිරීමට නොහැකි වූ විට දියවැඩියාව ඇති වන බව වෛද්‍යවරු පවසති.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2014 වර්ෂය වනවිට ලෝක ජනගහනයෙන් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ගෙන් 8.5%ක් දියවැඩියාවෙන් පීඩා විඳින බව ගණනය කර තිබිණි. 2000 සහ 2019 අතර කාලයේ දී දියවැඩියා මරණ අනුපාතය 3%කින් වැඩි වී තිිබූ අතර 2019 දී දියවැඩියාව හේතුවෙන් ඇති වූ වකුගඩු රෝගයෙන් මියගිය ගණන ලක්ෂ 20ක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

වමේ සිට දකුණට පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය පියුමි වාසනා, මහාචාර්ය තිලක් වීරසිංහ,  මහාචාර්ය අනෝජා අත්තනායක හා මහාචාර්ය කමනි ජයතිලක වෙයි

දියවැඩියා රෝගය, අන්ධභාවයට, වකුගඩු අකර්මණ්‍ය වීමට, ‍හෘදයාබාධවලට, ආඝාතයට සහ යටිපාද කපා හැරීමට ප්‍රධානතම හේතුවක් වන බව ද වෛද්‍යවරු පෙන්වා දෙති. දියවැඩියාව ප්‍රතිකාර මගින් පාලනය කළ හැකි අතර එහි ප්‍රතිවිපාක වළක්වා ගැනීම හෝ එමගින් සිදුවන හානිය ප්‍රමාද කිරීමට හැකිවුව ද සම්පූර්ණයෙන් සුවකළ නොහැකි බව වෛද්‍ය මතයයි. මේ නිසාම ලෝකය පුරා දියවැඩියාව සම්බන්ධයෙන් නිතිපතා විවිධ පර්යේෂණ සිදු වෙයි.

මේ සම්බන්ධව අවධානය යොමු කළ රුහුණ විශ්වවිද්‍යාලයේ, කරාපිටිය වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් කණ්ඩායමක් දියවැඩියා රෝගය පාලනය කළ හැකි නව ඖෂයක් කෝවක්කා ශාකය මඟින් නිපදවීමට සමත් වී ඇත. මේ වනවිට එම ඖෂධය ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති අතර පේටන්ට් බලපත්‍රය ද ලබා ඇත. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු දියවැඩියා රෝගීන්ට ද දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමක් සහිත සියලු දෙනාට ද අතිශය සුබ ආරංචියකි.

කරාපිටිය වෛද්‍ය පීඨයේ, ජෛව රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක, වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා මහාචාර්ය තිලක් වීරරත්න, ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය කමණී ජයතිලක, ආචාර්ය පියුමි වාසනා යන කණ්ඩායම මෙම පර්යේෂණය සිදු කර තිබේ.

මහාචාර්ය අනෝජා අත්තනායක තම ආචාර්ය උපාධිය සඳහා කරන ලද පර්යේෂණයේ දී දියවැඩියාව සහිත රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය අඩු කිරීමට සමත්වන ශ්‍රී ලංකාවේ ඇති ශාක වර්ග කිහිපයක් හඳුනා ගෙන තිබිණි. එලෙස හඳුනාගත් ශාක අතරින් කෝවක්කා නම් වැල් වර්ගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පර්යේෂණ යෝජනාවක් 2017 වර්ෂයේ දී ජාතික පර්යේෂණ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා රුපියල් ලක්ෂ 47ක අරමුදලක් අනුමත විය. ඒ අනුව මෙම පර්යේෂණය රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජෛව රසායන විද්‍යා අංශය මඟින් ආරම්භ කළ අතර එවකට ආචාර්ය පියුමි වාසනාගේ ආචාර්ය උපාධි පර්යේෂණය ලෙස මෙම කාර්යය ඉදිරියට කරගෙන ගොස් ඇත.

කියවන්න:  ලොව පුරා ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් ඇණහිටී

මේ සම්බන්ධ අදහස් දැක්වූ මහාචාර්ය තිලක් වීරරත්න මෙසේ කීවේය.

“දියවැඩිය‍ා රෝගීන්ගෙන් 95%ක් පමණ දෙවැනි මට්ටමේ දියවැඩියා රෝගීන් ලෙස හඳුන්වනවා. ඒ අයට ශරීරයේ ඉන්සියුලින් අකාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම නිසා දියවැඩියාව හටගන්නවා. අපි නව පර්යේෂණය මඟින් නිපද වූ මේ ඖෂධය ‍එවැනි දෙවැනි මට්ටමේ දියවැඩියා රෝගීන් සඳහා සුදුසු ඖෂධයක්.”

කෝවක්කා ශාකය රුධිරගත සීනි ප්‍රමාණය අඩු කිරීමට සමත්වන බව සමාජයේ පිළිගත් මතයක් විය. ඒ පිළිබඳ මහාචාර්ය අනෝජා අත්තනායකගේ පර්යේෂණයකින් ද තහවුරු වී තිබූ බැවින් නව පර්යේෂණයේ ඉලක්කය වූයේ කෝවක්කා ශාකයේ අදාළ රසායනික ද්‍රව්‍ය වෙන්කර එමඟින් ජාත්‍යන්තරව පිළිගත් ආකාරයට නව ඖෂධයක් විද්‍යානුකූලව නිපදවීමයි.

මෙය ඉතාමත් දීර්ඝකාලීන පර්යේෂණ ක්‍රියාවලියකි. රසායනික විශ්ලේෂණ සිදුකිරීමෙන් පසු ඒවා යොදාගත් පර්යේෂණ කණ්ඩායම, අත්හදා බැලීමේ ඖෂධය නිපදවා ගත්හ. ඉන් පසු එහි වැදගත්ම අදියරක් වූයේ ප්‍රේරිත සතුන් සඳහා ලබා දෙමින් ඖෂධයේ සාර්ථකත්වය සහ එමඟින් සතුන්ගේ සිරුරුවලට සිදුවිය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

එම අධ්‍යයනයෙන් පසු ඖෂධය දියවැඩියා රෝගීන් සඳහා අත්හදා බැලීම සුදුසු යැයි තීරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය පියුමි වාසනා මෙසේ කීවාය.

ඖෂධය සඳහා ලබාදුන්  ශ්‍රී ලාකාවේ පේට්න් බලපත්‍රය

“අපේ පර්යේෂණය තුළ කෝවක්කා ශාකයේ රසායනික විශ්ලේෂණය කර ඒවා නිස්සාරණය කරලා රුධිරගත සීනි අඩුකිරීමට ඒ ඒ රසායනිකයන්ගේ කවර සංයුතියකින් අවශ්‍ය වන්නේ ද යන්න තීරණය කළා. ප්‍රේරිත සතුන් යොදාගෙන කළ පරීක්ෂණ එයට මහෝපකාරී වුණා. පරීක්ෂණයේ සාර්ථක බව තහවුරු වූ පසු අපි ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව එම රසායනිකයන් යොදාගෙන ගිලින කරලක් නිෂ්පාදනය කළා. සායනික පරීක්ෂණයෙන් පසුව තමයි අපිට එය දියවැඩියා රෝගීන්ගේ භාවිතයට නිර්දේශ කළ හැකි වන්නේ. ඒ සඳහා අපි දියවැඩියා රෝගීන් ලෙස එතෙක් හඳුනා ගෙන නොසිටි, පුද්ගලයන් 1,000ක පමණ නියැදියක නිරාහාර රුධිර පරීක්ෂණය කළා. එතැනින් තෝරාගත් දියවැඩියාව සහිත පුද්ගලයන් 158 දෙනෙක් මේ සායනික පරීක්ෂණය සඳහා යොදාගත්තා. ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදලා මාස තුනක කාලයක් එක් කණ්ඩායමකට නව ඖෂධය ලබා දුන්නා. අනෙක් කණ්ඩායමට ඖෂධය අඩංගු නැති ඒ ආකාරයේ ම කරලක් ලබා දුන්නා. ඉන් පසු ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කළ විට අපට තහවුරු වුණා ඖෂධය දියවැඩියා රෝගීන් සඳහා ලබා දීමට ඉතාමත් සුදුසු බව.”

කියවන්න:  අධ්‍යාපනයේ නවුමු සංකල්ප දැන්වත් භාවිතයට ගමු -කුමුදු ෆොන්සේකා

රුධිරගත සීනි ප්‍රමාණය අඩු කිරීමට අමතරව එම ඖෂධය භාවිතයේදී අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් තිබේද යන්නත් පර්යේෂණ කණ්ඩාය‍මේ අවධානයට ලක්විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය තිලක් වීරරත්න මෙසේ කීවේය.

“අපි කරපු සායනික පරීක්ෂණ සාර්ථක වුණා. එ‍සේම එමඟින් තහවුරු වුණා රුධිගත සීනි ප්‍රමාණය පාලන කිරීමට දැනට අප නිර්දේශ කරන බටහිර ඖෂධ වලට සමානවම මේ නව ඖෂධයත් ක්‍රියාත්මක වන බව. ඒ වගේම නව ඖෂධය භාවිතයෙන් කිසිදු පුද්ගලයකුට අහිතකර බලපෑමක් නොවන බවත් රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට පමණක් නොව රුධිරයේ ඇති අහිතකර මේදය අඩු කිරීමට සමත්වන බවත් තහවුරු වුණා. එය ඉතාමත් සාධනීය ලක්ෂණයක්.”

පර්යේෂකයන් පවසන්නේ ඔවුන් නිපදවූ නව ඖෂධය, දියවැඩියා රෝගීන් සඳහා භාවිත කරන අනෙකුත් ඖෂධ සමඟ ක්‍රියාකරන ආකාරය පිළිබඳව ද දියවැඩියාව ඇති වීමේ අවදානමක් පවතින රෝගීන් සඳහා භාවිත කිරීමේ හැකියාව සම්බන්ධව ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මෙම පර්යේෂණයේ වාර්තාව ජාත්‍යන්තර පර්යේෂණ සඟරා කිහිපයක් ප්‍රකාශයට පත්කරන, Elsevier නමැති ආයතනයේ Phytomedicine නමැති සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. එය ලෝකයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කරන සඟරාවකි. මීට අමරතව පර්යේෂක කණ්ඩායම විසින් තමන් නිපදවූ නව ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන තිබේ.

මහාචාර්ය අනෝජා අත්තනායක මෙසේ පවසයි.

“අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයෙන් පේටන්ට් බලපත්‍රයකට අයදුම් කළා. නව ඖෂධය සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රය අපට ලැබුණා. ලෝක‍යේ විවිධ ශාකසාර වලින් ඖෂධ නිපදවා තිබුණත් මෙතෙක් කෝවක්කා ශාකයෙන් දියවැඩියාව සඳහා ඖෂධයක් නිපදවා තිබුණේ නැහැ. ඉදිරියේ දී ඒ සඳහා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රයත් ලබා ගැනීමට කටයුතු කරමින් යනවා.”

රුහුණ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යා අංශයේ 1985 වර්ෂයේ සිට විවිධ පර්යේෂණ සිදුකර තිබේ. වරින් වර සිදුකරන ලද පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන සහ ජාතික සම්මාන පවා ලැබී ඇත. කෙසේ වුවද, එම අංශයේ මහාචාර්ය කමණී ජයතිලක පවසන්නේ රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයෙන් මෙවැනි ඖෂධයක් නිපදවූ ප්‍රථම වතාව මෙය බවයි. ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“රුහුණ විශ්වවිද්‍යාලය මඟින් මේ සඳහා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රයත් අරගෙන මේ ඖෂධය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හෝ වෙනත් පුද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක් මඟින් මේ ඖෂධය නිෂ්පාදනය කරලා වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

කියවන්න:  රට ගොඩනැංවීම සඳහා ආර්ථික සැලසුම කෙසේ වියයුතුද ?- කුමුදු ෆොන්සේකා (පළමු කොටස )

කෙසේවුවද මහාචාර්ය තිලක් වීරරත්න කියා සිටියේ කෝවක්කා ශාකයේ රසායනිකයන්ගෙන් රුධිරයේ සීනි මට්ටම අඩුකළ හැකි වුව ද එය හිතුමතයේ, නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ආහාරයට ගැනීම මිනිස් සිරුරට හානිකර විය හැකි බවයි.

“ කෝවක්කා ශාකය මඟින් රුධිරයේ සීනි අඩු කළ හැකි බවට දේශීය වෛද්‍යවරුන් පවසනවා. ඒ බව මේ පර්යේෂණයෙන් ද තහවුරු වී තිබෙනවා. නමුත් ඕනෑම ශාක සාරයක ඖෂධීය ලෙස භාවිත වන රසායනික නිවැරදි මාත්‍රාවක් සිරුරට ඇතුළු විය යුතුයි. එය අධික පරිභෝජනය කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් හානිදායක විය හැකියි. ඇතැම් දියවැඩියා රෝගීන් බටහිර ඖෂධ පානය කරන අතරතුර කෝවක්කා කැඳ, කෝවක්කා මැල්ලුම් සහ සම්බල් ආහාරයට ගෙන විවිධ අසීරුතාවලට ලක්ව ප්‍රතිකාර සඳහා පැමිණෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ පාසල් දරුවෙක් කෝවක්කා කොළ ආහාරයට ගෙන සිහි මුර්ජා වුණා. ඒ නිසා අපි ඉතාමත් අවධාර‍ණයෙන් ඉල්ලා සිටිනවා ඉවක් බවක් නැතිව කෝවක්කා ශාකයේ කොළ හෝ වෙනත් කොටස් ආහාරයට ගන්න එපා කියලා, මේ ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි මාත්‍රාවට භාවිත කළ යුතුයි.”

කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි කියා සිටියේ මෙවැනි පර්යේෂණ ශ්‍රී ලංකාවේ තවදුරටත් සිදුවිය යුතු බවයි. මෙම පර්යේෂණය සිදුකරමින් රටට සහ ලෝකයට අවශ්‍ය නව නිෂ්පාදනයක් සිදුකළ පර්යේෂණ කණ්ඩායමට තමන් ස්තූතිවන්ත වන බව ද මෙයට අදාළ සායනික පරීක්ෂණ පැවැත්වීමේ දී අවශ්‍ය සහයෝගය සහ පහසුකම් සපයා දුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට ද ස්තූතිවන්ත වන බව ද හෙතෙම පැවසුවේය.

රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුජීව අම‍රසේන කියා සිටියේ නිසි විද්‍යානුකූල පරීක්ෂණයක් සිදුකර නව ඖෂධයක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව පර්යේෂණ කණ්ඩායම ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් සපයා ඇති බවයි.

“පහුගිය කාලේ විවිධ ව්‍යාජ පර්යේෂණ ගැන, ව්‍යාජ ඖෂධ ගැන ප්‍රචාරයන් ගියා. ඒවාට කරාපිටිය රෝහලේ නම, කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨයේ නම පවා ඈදා ගත්තා. නමුත් අපේ රටේ මාධ්‍ය වගේ ම ජනතාවත් තේරුම්ගත යුතුයි නිවැරදි පර්යේෂණයක් සිදු කරන්‍නේ කොහ‍ොම ද කියලා. ගෙදර ඉදන් බෙහෙත් හදලා වෙළෙඳපොළට දානව නම් එතන තියෙන්නේ බොරුවක්. විද්‍යාත්මක පර්යේෂණ සහ සායනික පරික්ෂණ සිදුකර ඒක ජාත්‍යන්තර පිළිගැනීමට ලක්කරලා තමයි ඖෂධයක් නිෂ්පාදනය කළ යුතු වෙන්නේ. මේ කණ්ඩායම ඒ දේ කළා.”

ඔහු වැඩිදුරටත් පැවසූයේ මෙවැනි පර්යේෂණ රැසක් රුහුණු විශ්වවිද්‍යාලයේත්, වෛද්‍ය පීඨයේත් සිදුවෙමින් පවතින බවයි. ඉදිරියේ දී ඒවායේ ප්‍රතිඵල ලෝකයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.