Saadhya Kodithuwakku

‘විෂම භාග‘ හෙවත් විනාඩි 90ක ප්‍රාතිහාර්යය

විෂම භාග යනු පරිපූර්ණත්වය හඹා යන සිනමාවක අතිදක්ෂ ධාවන වේගයක් සලකුණු කරන චි‍ත්‍රපටයති. විශේෂයෙන් ම සෑම ගුරුවරයෙකුට ම ස්වකීය භූමිකාව පිළිබඳ ව ප්‍රත්‍යවලෝකනයක යෙදෙන්නට ඉඟි කරන සිනමා සිත්තමකි.
(දරුවන්ගේ නම් සම්බන්ධයෙන් මගේ මතකය නිවැරදි නම් ) කමලසිරි හා රුවන්සිරි යන නිවුන් දරුවන්ගේ ශක්‍යතා හා විභව්‍යතා සපුරා ම වෙනස් බව අපට පෙනේ. නිවුන් දරුවන් වූ පමණින් ඔවුන් දෙදෙනාගෙන් ම එක හා සමාන ශක්‍යතා බලාපොරොත්තු නොවිය යුතු බව නූගත් ගැහැනියක බව පෙනෙන නමුත් උගත්කමේ අගය හඳුනන ගැහැනියක වන අම්මා පවා දන්නා කරුණක් බව ඇගේ එක් ප්‍රකාශයකින් තහවුරු වේ.
“ අම්ම ඔය හිනාවෙන්නෙ මට අයියට වගේ සිංදු කියන්න බෑ කියල නෙ“
“උඹට බෑ තමා . ඌට පිහිටල තියෙන්නෙ අපෙ අප්පොච්චගෙ ගතිගුණ“
“එතකොට මට? මං කවුරු වගේ ද ?“
“ උඹ උඹලගෙ තාත්ත වගේ“ ( දෙබස් ලියුවේ මතක හැටියට ය)
මහාචාර්ය හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායට අනුව දරුවෙකු තුළ අට ආකාරයක බුද්ධියක් වර්ධනය කළ යුතු ය.
ඇතැම් දරුවන් තුළ බුද්ධියේ ඒ ඒ ප්‍රභේද අඩු වැඩි වශයෙන් පවතින්නේ ඔවුනගේ මොළයේ වර්ධනය වන අංශයට සාපේක්ෂ ව ය.

ඒ අනුව බලන කල ‘විෂම භාග‘ යන සංඥා නාමය තේමා ව හා අත්‍යන්තයෙන් බැඳෙයි.

ගණිතයට අසංවේදී රුවන්සිරි එසේ අසංවේදී වී ඇත්තේ ඔහුගේ මොළයේ දකුණු පස අඩුවෙන් වර්ධනය ව වම්පස වැඩියෙන් වර්ධනය වීමේ ජීව විද්‍යාත්මක හේතුවටත් වඩා මූලික ගණිත සංකල්ප හසු ව නොමැති වීම හා ගුරුවරයාගේ ප්‍රායෝගික නො වන ඉගැන්වීම් ක්‍රමය නිසා බව ය මාගේ හැඟීම. භාග ගණන් පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති සීයා ඉතා ප්‍රායෝගික ව පුවක් ගෙඩියේ ආධාරයෙන් ඔහු දන්නා භාග උගන්වන්නා සේ ප්‍රායෝගික ක්‍රම පසුබට දරුවන් වෙනුවෙන් හෝ අත්හදා බැලීමට ගුරුවරයා අසමත් වූ තැන ඔහු ගුරුකමෙන් අසමත් වූ බව අපට හැඟී යයි. මේ විෂම භාග පාඩම, අසා සිටින ගණිතය ඉතා ඉහළින් සමත් ව ඇති අප පවා අවුලෙන් වියවුලට පත් වන ඉගැන්වීමකි. ළමයා පහේ ය. පාඩම ඉගැන්වීමට භාවිත කරන වචන දහයේ ය.

කියවන්න:  ඔයිමියාකොන්: ලොව වඩාත් සීතල ම ගම්මානය

ගණිතයට අසංවේදී ඔහු , ගණිතයට දක්ෂ සිය සොහොයුරා අසංවේදී වන බොහෝ කාරණා කෙරෙහි බෙහෙවින් සංවේදී වෙයි.
උදා:
මානව දයාව –
* සිය පවුලේ සාමාජික සාමාජිකාවන් පමණක් නො ව වහු පැටියාව ද වකුගඩු රෝගයෙන් බේරා ගනු පිණිස ඔහු ඔහුට නොසෑහෙන තරම් වතුර බරක් , නොසෑහෙන තරම් දුරක සිට ඔසවාගෙන එයි.
* තුණ්ඩුවක් ගැනීමට රෝහලට යන ඔහුට සිය පියා පිළිබඳ මතක අවදි වීමෙන් තමා ආ කාරිය පවා අමතක වෙයි. එහි දුක් විඳින රෝගීන් කෙරෙහි සානුකම්පිත වෙයි.
* කුරුලු කූඩුව හා කුරුලු පැටියා කෙරෙහි ඔහු දක්වන අවධානය
*පාසල් යන මල්ලී සීයා කෙරෙහි සැලකිලිමත් නොවුණත් රුවන්සිරි සැලකිලිමත් වෙයි.
අතරමග දී දක්නට ලැබෙන භික්ෂූන් වහන්සේ කෙරෙහි ඔහු දක්වන සැලකිල්ල ද ඔහුගේ ගති ස්වභාව හුවා දක්වන්නකි.‍‍‍
මේ කිසිවක් කෙරෙහි කමලසිරි සවිඥානක නොවෙයි. එපමණකින් අපි ඔහු අසංවේදී දරුවෙකැ යි නොකියමු.
ඔවුන් දෙදෙනා අතර පවත්නා සහෝදර ප්‍රේමය චිත්‍රපටය අවසානයේ සිදුවීමෙන් කුළුගැන්වෙයි.

සීයාටත් , බණ්ඩාරටත් හඳුනා ගැනීමට බැරි ව පැටලෙන දෙදෙනාව ශූර ගුරුවරයා හඳුනාගනියි. නිරන්තර ව ගණිත ගුරුවරයාගෙන් ලැබෙන අවමන් හේතුවෙන් පළුදු වන ආත්ම විශ්වාසය ඇති රුවන්සිරි ගුරුවරයා දෙස එක එල්ලේ නොබලයි. නිරන්තර උපස්තම්භනවලින් හා ආත්ම ශක්තියේන උද්දීප්ත කමලසිරි ගුරුවරයා දෙස එක එල්ලේ බලයි. ගුරුවරයා දෙදෙනා වෙන් කොට හඳුනා ගන්නේ එතැනිනි.නමුත් සංගීත ගුරුවරිය හමුවේ රුවන්සිරිගේ හිස බිමට නොනැමෙයි.ආත්ම විශ්වාසය දැල්වෙයි.

එක් එක් විෂම භාගවල පරිමාවේ හා ධාරිතාවේ වෙනස ගුරුවරයා අවබෝධ කර ගන්නේ රුවන්සිරි ගයන ජන ගීයෙනි. ජීවත් ව සිටිමිනුත් , මිය ගිය පසුවත් සීයා රුවන්සිරිට පිහිට වෙයි. ඔහුගේ හැඟීම් හා අපේක්ෂාවන් අවබෝධ කරගනියි. සීයාගේ මළගමේ ශෝකී ස්වරය ඔහුගේ ගීයේ තැන්පත් ව , නිද්‍රාගත ව පවතින ගුරුවරයාගේ කාරුණික හැඟීම් අවදි කරවා ඇස් ලබා දෙවයි. එම ජන ගීය ද යළි යළිත් මහද පාරවන ශෝකී ජන කතාවක මතකය අවුස්සමින් මා පෙළයි.
“ මී පුප් ලදින් දරු නොලදින් රන්කැටි පුතා කෝ කෝ “ යන කොබෙයි මවගේ පශ්චාත්තාපී විලාපය මහද වේදනාවෙන් බර කරයි. මී මල් රැක ගැනීමට බැරිවිණැ යි වැරදි අවබෝධයෙන් සිය කුඩා පුතු ගසා පන්නා දැමූ කොබෙයි මව තවමත් සිය දරුවා සොයමින් විලාප නගයි.

කියවන්න:  Ponte Vecchio (Old Bridge): රත්රන් වලින් පිරුණු ඉතාලියේ පැරණි පාළම

අලුත් වැස්සෙන් මතු කර දෙන මී මල් කොබෙයි මවගේ වේදනාව ලියලවයි. අලුත් වැස්ස යනු කොබෙයි පුතුන් ගරහා පන්නා නොදැමෙන ආකාරයේ නවමු අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ ව වන අනවරත බලාපොරොත්තුවයි. සංගීත ගුරුතුමිය වැනි ගුරුවරුන්ගේ දයාවයි. කරුණාවයි. සෙනෙහසයි.නිසි ලෙස දක්ෂතා හඳුනා නොගැනීමෙන් දරුවන් පන්නා නොදමනා ලෙසත් , වියැළුණු මී මල් නැවත පණ ගසනවා දකින්ට නම් අලුත් වැස්සක් වැස්සවිය යුතු බවත් තිර රචකයා අපට කියා දෙයි…

Sampath Wanniarachchi ගේ සුවිශිෂ්ට කලා අධ්‍යක්ෂණයත් ( මගේ මතකය නිවැරදි නම්) Praneeth Gunarathna ගේ සහාය අධ්‍යක්ෂණයත් නිසා සන්දීප්තියට පත් මෙකී සිනමා තිර රචනය Chamara Ruwanthilaka ගේ සංගීතමය ප්‍රතිභාව කරණ කොට ගෙන පරිසමාප්තභාවයේ කූටප්‍රාප්තියට ළං වෙයි. ආලෝකය සහ අඳුර මැනවින් භාවිත කිරීම තුළින් භාවෝද්දීපනයට කැමරා ශිල්පී පාලිත පෙරේරා සුවිශිෂ්ට ප්‍රයත්නයක් දරා ඇති බව හැඟෙන අතර මිනිත්තු 90ක කාලයක් තුළ ප්‍රේක්ෂකයා තදාත්මීකරණය නමැති රැහැනින් දැඩි ව වෙළා ගැනෙන අතර ඉන් විනිර්මුක්ත වූ සැණින් ‘විෂම භාග‘ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විෂම ය යන යථාවත් , නිසි පානීය ජලය ඌනතාව හේතුවෙන් අඳුර වැළඳ ගන්නා ජීවිතවල කර්කශ යථාර්ථය පිළිබඳවත් ප්‍රේක්ෂකයා සවිඥානක වෙයි.

ඉතා ම පරිණත සිනමා අධ්‍යක්ෂවරයෙකුගේ ලක්ෂණ පෙන්වමින් රංගන ශිල්පීන් සතු නිසග ප්‍රතිභාන්විතභාවය නිදහසේ පුබුදු කරවීමට අවැසි පරිසරය සකස් කර දී ඇති බව කිව යුතු ම ය. ඉතා ම සුළු චරිතයක් රඟපාන ශිල්පියෙකු පවා කෘතියට උපරි ම සාධාරණය ඉටු කොට ඇති බව මා හට හැඟෙන බැවින් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් ද මාගේ අපරිමිත බුහුමන පිරිනමමි.