ඩෙන්මාර්කයේ ඤාණාදීප හිමිපාණන්වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් පළවන ලිපියකි.

ඩෙන්මාර්කයේ ඤාණාදීප හිමිපාණන්වහන්සේ (Picture: Lankadeepa.lk)

වර්ෂ 1944 නොවැම්බර් 12 වැනිද‌ා ප්‍රංශ ජාතික ඕජේන් ජූන් පියාට දාව ප්‍රංශයේ LYON ප්‍රදේශයේ උපත ලද ඩෙනී රොබට් ජූන් පුතු, මතු යම් කලෙක එබඳු සඟ පිය පරපුරක පා සටහන් මත පියවර නඟති යි කිසිවකු සිහිනෙනුදු නොසිතන්නට ඇත. ඩෙනී ගේ පියා වෛද්‍යවරයකු හමු විය. ඔහුට සිය වෛද්‍ය සේවය සඳහා ලෝක යුද්ධය තදින් පැවැති ජර්මනියේ දේශපාලන සිරකරුවන් රඳවා තබන කඳවුරකට යාමට සිදු විය. ඔහුගේ බිරිය ද එවකට ඉතා කුඩා වියේ පසු වූ ඩෙනී සමඟ ප්‍රංශයේ සිටියාය. ජර්මනියේ දී ඔහුට ඩෙන්මාර්ක් ජාතික තවත් වෛද්‍යවරයෙක් හමු විය. ඔහු ද සිය බිරිය සහ දරුවා ඩෙන්මාර්කයේ තනි කර දමා පැමිණ තිබිණි.

මිතුරන් වූ මේ දෙදෙනා අතර අපූරු ගිවිස ගැනීමක් සිදු විය. සිය දෑස් ඉදිරිපිට එකිනෙකා මැරී වැටෙන මෙබඳු යුද්ධයක දී සිය ජීවිතය ද අවිනිශ්චිත බව තේරුම් ගත් ඔවුහු, එක් අයකුගේ මරණය සිදු වුවහොත් අනෙකාගේ බිරිය සහ දරුවා බාරගන්නා බවට අන්‍යොන්‍ය වශයෙන් ගිවිස ගත්හ. ටික දිනක් ගත විය. ප්‍රංශ ජාතික වෛද්‍ය ඕජේන් ජූන් ගේ මරණය සිදු විය. ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යවරයා සිය මවු රටට පෙරළා ගියත් ඔහු ගේ සිතේ මිත්‍රත්වයේ නාමයෙන් වූ ගිවිසුම මතකයේ තිබිණි.

ඩෙන්මාර්කයට ගිය වහාම හෙතෙම ප්‍රංශයට ලිපියක් ලියා තැපැල් කළේය. වෛද්‍ය ඕජේන් ජූන් ගේ මරණය සිදු වූ බවත් මරණයට පෙර ඔහු හා තමා අතර වූ පොරොන්දුවකට අනුව ඔහු ගේ බිරිය හා දරුවා කැමැති නම් ඩෙන්මාර්කයේ වෙසෙන තමන් බාරයට ගත හැකි බවත් මිතුරා වෙනුවෙන් ඔවුන් දෙදෙනාට අවශ්‍ය රැකවරණය සහ නඩත්තුව අවශ්‍ය කාලයක් යන තුරු සැපැයිය හැකි බවත් දන්වා යැවීය. සිය අත දරුවා සමඟ තනිව හුන් වෛද්‍ය ඕජේන් ජූන් ගේ බිරිය ද ඊට එකඟ වූවාය. අනතුරුව ඇය කුඩා ඩෙනී ද සමඟ ඩෙන්මාර්කයේ පදිංචියට ගියාය. එතැන් සිට ඩෙනී රොබර්ට් ජූන් වැඩෙන්නේ පිය සෙනෙහස වෙනුවට ලද පියකු ගේ බඳු සෙනෙහසක් මැද ඩෙන්මාර්කයේය.

කියවන්න:  'Madin' Full Moon Poya

විසිහතර හැවිරිදි වෙද්දී, පියා ගේ අහිමි වීම සහ මනුෂ්‍ය වර්ගයාම මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කළ මහා මනුෂ්‍ය සංහාරයක අඳුරු මතක විසින් ඔහු කම්පනයට පත් කරනු ලබන්නට ඇත. එහි අවසන් ප්‍රතිඵලය නම් ඩෙනී තරුණයා දහම සොයා පෙරදිගට පැමිණීමට තීරණය කිරීමය.

සිය පෙරදිග නවාතැන ලෙස ඔහු තෝරා ගත්තේ ඒ වනවිට බුදු දහම සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්ල රජ්ගම පොල්ගස්දූව විවේක සේනාසනයයි. පොල්ගස්දූව ආරම්භ කළාහු ජර්මන් ජාතික ඤාණාතිලෝක මහ තෙරුන්වහන්සේය. පසුව උන්වහන්සේ ගේ ශිෂ්‍ය කඩුගන්නාවේ ඤාණාලෝක මාහිමිපාණන් වහන්සේ එහි ආධිපත්‍යය හොබවා වදාළ සේක. ඤාණාතිලෝක මාහිමිපාණන් වහන්සේ ගේ තවත් කීර්තිමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ ඤාණපෝනික මාහිමිපාණන් වහන්සේ මෙකල මහනුවර උඩවත්ත කැලේ වන සෙනසුනේ සිට බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශනයට පත්කරමින් විශාල සසුන් සේවාවක් කරමින් සිටියහ.

ඩෙනී තරුණයා කලක් පොල්ගස්දූවේ උපාසකයකු ලෙස හිඳ පසුව එහිම පැවිදි වීමට තීරණය කළේය. එම කාලයේම පොල්ගස්දූව සේනාසනයේ වැඩ විසූ, දැනට බම්බලපිටිය වජිරාරාමයේ වයෝවෘද්ධව වැඩ සිටින බොරැල්ලේ ඤාණපාල ස්වාමීන්වහන්සේට ඩෙනී ගේ ගිහි අවධිය පිළිබඳව තවම මතකයේ ඇත. ඩෙනී ගේ පැවිද්ද සිදුවන්නේ 1969 සැප්තැම්බර් 29 වැනිද‌ා කඩුගන්නාවේ ඤාණාලෝක මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ ගේ ආචාර්යත්වයෙන් ‘ඤාණදීප’ යන නමිනි. ඊට වර්ෂ එකහමාරකට පසුව 1971 මාර්තු 22 වැනිද‌ා බුරුම ජාතික අතිපූජ්‍ය ඤාණින්ද මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ ගේ උපාධ්‍යායත්වයෙන් පොල්ගස්දූව සෙනසුනේම බද්ධ සීමාවේ දී උපසම්පදාව සිදු වී ඇත.

ඒ මඩිහේ පඤ්ඤාසීහ මහනායක මාහිමිපාණන්වහන්සේ ගේ අනුශාසනා පරිදි අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායට අනුබද්ධවය.

‘ඤාණදීප’ හිමියෝ පැවිද්දට පෙර සිටම පොල්ගස්දූවේ දී පාලි භාෂාව හැදෑරීම ආරම්භ කොට උපසම්පදාවෙන් වසර කිහිපයක් යන තුරුම පොල්ගස්දූව පුස්තකාලය සහ භික්ෂූන්වහන්සේලා ඇසුරින් පාලි භාෂාවත්, ධර්මයත් උගත්හ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්වකීය කථිකාචාර්ය පදවිය හැර දමා පැමිණ පැවිදි වූ මෙකල පොල්ගස්දූවේ වැඩ විසූ කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් ‘ඤාණදීප’ හිමියන්ට පාලි භාෂාව ඉගෙනීමට උපකාර කළ බව ද ඉගැනීමේ අසීමිත දක්‍ෂතාවකින් යුත් ‘ඤාණදීප’ හිමියන් වහා භාෂෝද්ග්‍රහණය කළ බව ද පසු කලෙක කටුකුරුන්දේ මාහිමියන් වදාරා ඇත.

කියවන්න:  සිරිපා 'මල් ඇතිරූ' මාවත

මෙකල පොල්ගස්දූව ප්‍රකටව තිබුණේ බටහිර ජාතිකයන් පැවිදි වීමට පැමිණෙන තපෝභූමියක් වශයෙන් පමණක්ම නොවේ. දහම සම්බන්ධයෙන් නොවහල් අදහස් ඇතිව, උග්‍ර තපෝ ගුණ දරාගෙන හුදෙකලාව අධිගම සාධනය පිණිස වීර්යය වැඩූ උතුමන්වහන්සේලා නිසා ද පොල්ගස්දූව කීර්තියට පත් වී තිබිණි. පොල්ගස්දූවේ පැවිදිව පැලෑණේ සිරි වජිරඤාණ මහ නාහිමිපාණන්වහන්සේ වෙතින් උපසම්පදාව ලබා බූන්දල හුදෙකලා කුටියක වැඩ සිට ශ්‍රේෂ්ඨ ජීවිත හරණයක් සිදු කොට වදාළ ඉංග්‍රීසි ජාතික ඤාණවීර හිමිපාණන් ද ඤාණවීර හිමිපාණන් සමඟම පැවිද්ද හා උපසම්පදාව ලබා ‘ විසුද්ධි මග්ගය’ ඇතුළු කෘති ගණනාවක් ඉංග්‍රීසි බසට නැඟූ ඉංග්‍රීසි ජාතික ඤාණමෝලි හිමිපාණන් ද මහ කසුප් සිරිත සිහි ගන්වමින් උග්‍ර තපෝගුණයෙන් සහ ආත්ම පරිත්‍යාගයෙන් යුතුව ලක් බිම පුරාම පා ගමනින් පිඬු සිඟා වඩිමින් ධර්ම චාරිකාවේ වැඩම කළ ජර්මන් ජාතික ඤාණවිමල හිමිපාණන් ද ඤාණදීප හිමියන්ට පූර්වගාමී, විශිෂ්ට ආදර්ශයන් වන්නට ඇත. සත්‍ය වශයෙන්ම උන්වහන්සේලා ලක් සසුනේ එක්තරා යුගයක පුරාවෘත්තයක් බඳු සලකුණක් ඉතිරි කොට ඇත.

බූන්දල කුටියේ වසර නවයක පමණ කාලයක් පිණ්ඩපාතිකව ඒක විහාරිකව වැඩ සිටිමින් හුදෙකලා ජීවිතයකට අවශ්‍ය පුහුණුව ලැබූ ඤාණදීප හිමියෝ තදනන්තරව වර්ෂ 1983 දී ලග්ගල ඊරියගස්උල්පත ප්‍රදේශයේ වන වාසයට වැඩම කළ සේක. එතැන් සිට දැඩි ලෙස ගිලන් වූ ජීවිතයේ අවසාන වර්ෂ කිහිපයට පැමිණෙන තුරුම උන්වහන්සේට සෙවණ වූයේ මේ ලග්ගල මහ වනයයි. ඒ කාලය පුරාම දන් දෙමින් උන්වහන්සේ පෝෂණය කළෝ ලග්ගල ගම්මානවල ගැමියෝය. නිරන්තරයෙන් අලියාත් ඉඳහිට වලසා සහ දිවියාත් හොල්මන් කරන මේ මහා වනාන්තරයේ මනුෂ්‍ය වාසයේ සිට සැලකිය යුතු දුරක් ඇතුළත වරිච්චි ගැසූ බිත්ති තුනකින් ද සිවුරක් පමණක් දැමූ ඉදිරිපස ආවරණයකින් ද ඉළුක්, පොල් අතු ආදිය සෙවිලි කළ වහලකින් ද ගොම පිරිමැද සැකැසූ ගෙබිමකින් ද යුතු අතිශය සරල කුටියක ලී දඬු හරස් කොට තනාගත් ඇඳමැස්සක උන්වහන්සේ සතුටින් වැඩ සිටි සේක.

දිනකට වරක් ඉතාම දිළිඳු ගැමියන් වෙත පිඬු පිණිස වැඩි සේක. කුටිය අසලින් මහ වන මැදින්, ඔය පිටාර දමමින් ගලන මහා වර්ෂා සමයේ පවා අඳන, සිවුරු වතුර බිඳකිනුදු තෙත් නොවී සැඩ පහර තරණය කොට අදටත් අදහාගත නොහැකි ලෙස පිඬු සිඟා වැඩි අයුරු ලග්ගල ගැමියන් අප සමඟම පවසා ඇත. කැත්තක්, මන්නා පිහියක් නොමැතිව යා නොහැකි මඟක තුත්තිරි ගසක්වත් නොපැටලී වැඩි අයුරු විස්මයාවහය. එලෙස මහ වන මැද හුදෙකලාව වීර්යය වඩන භික්‍ෂු සම්ප්‍රදායක මෑත අවධියේ පරමාදර්ශය උන්වහන්සේය.

කියවන්න:  ජනකවියා හා සිරිපා වැඳුම

එක් කුටියක දීර්ඝ කාලයක් ස්ථාවරව වැඩ නොසිටින මාහිමිපාණෝ පොත්ඇටවෙල, මොරතැන්න, ගලමුදුන, ලේල්ඔය, මඩුමාන, රඹුක්ඔලුව, පුවක්පිටිය, කුකුළාමල්පොත ආදී ලග්ගල ප්‍රදේශයේ ගම්මාන ඇසුරු කරමින් වනගතව වැඩ සිටියහ. 1993 දී වනගත ජීවිතයේ මුල් කාලයේ දී කලබල වූ අලියකුට පෑගීම නිසා පාදයේ ආබාධයක් සිදු වී රැයක් පහන් වන තුරුම අලි රංචුවටම මැදිව පාදයේ තුවාලය ද සහිතව වන මැද වැටී සිටියත් උන්වහන්සේගේ ජීවිතයට කිසිදු අන්තරාවක් නොවීය. ඉන් පසුව මහා වනාන්තරවල මිනිස් කටහඬක් නොඇසෙන මානයේ පිහිටි කුටිවල ගෙවී ගිය දීර්ඝ රාත්‍රීන් පුරා සිරුර ලොමුදහගන්වන සිදුවීම්වල දී ලොමුදහ නොගෙන සිටි අයුරුත් අතිශය කම්පනීය සිදුවීම් හමුවේ අකම්පිතව සිටි අයුරුත්, පුහුදුන් සිත් තැති ගන්වනසුලු අවස්ථාවන්හි දී තැති නොගෙන සිටි අයුරුත් දන්නේ උන්වහන්සේම පමණි.

මේ මුළු කාලය පුරාම දවසකට වරක් වඩින පිණ්ඩපාතයටත් තෙමසකට වරක් වඩින ලග්ගල වනවාසී සඟ හමුවටත් පමණක්ම වනයෙන් පිටතට වැඩි උන්වහන්සේ ඉතිරි මුළු කාලයම යෙදවූයේ ධර්මය අධ්‍යයනයට සහ භාවනාවටය. කිසිදු ගිහි දායක-දායිකාවක ළඟින් ඇසුරු නොකළ අතර දාන පින්කම් ආරාධනා ආදිය පිළිගැනීම ද නොකළ සේක.

වසර කිහිපයකට පෙර සිට ගිලන් වූ මාහිමිපාණන් වහන්සේ ඉකුත් 2020 සැප්තැම්බර් මස 12 වැනිද‌ා ඇත්දළගල ආරණ්‍යයේ දී සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කළ සේක.

 ඩෙන්මාර්කයේ ඤණදීප හිමිපාණන්ට නිවන් සුව ලැබේවා.

(තොරතුරු සපයා ගැනීමට උපකාර කළ ඩෙන්මාර්කයේ මෙත්තාවිහාරී, රම්මුතුගල බුද්ධවංශ, පෙතියාගොඩ චන්දවිමල ස්වාමීන්ද්‍රයන්වහන්සේලාට පින් සිදු වේවා!)

බම්බලපිටියේ සිරි වජිරාරමයේ මීගොඩ සුඛිත හිමි

Source: Lankadeepa.lk