ගුවන්විදුලියේ මුල් පුටුව හෙබවීමට පැමිණි නිලධාරීන් අතරින් යමක් ඉතිරි කර ගිය දෙතුන් දෙනකුට සීමාවෙයි. ඇම්.ජේ. පෙරේරා සහ රිජ්වේ තිලකරත්න යන දෙදෙනාය. ඉංග්‍රීසි, සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂාවන් හොඳින් දැන සිටි මේ දෙපොළ ඒ නිසාම ජාතියේ සංස්කෘතිය කුමක්ද යන්නත් හොඳින් අවබෝධ කරගෙන තිබුණි. සිවිල් සේවකයන් වූ මේ දෙදෙනා දැනීමෙන් හා බුද්ධියෙන් ඒ පාලන සේවාවන්ට වැඩි උසස් තලයකට පැමිණ සිටියහ. ප්‍රකට, සම්මානනීය ලේඛකයකු, කවියකු හා ගීත රචකයකු වූ මඩවල එස්. රත්නායක සඳහන් කර තිබුණේ රිජ්වේ තිලකරත්න නම් සිවිල් නිලධාරියා ගැන ලියූ ලිපියකය.
රිජ්වේ තිලකරත්න මහතා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරය දැරූ (1973 – 1977) කාලය තුළ කළ කාර්යභාරය එහි ස්වර්ණමය යුගය ලෙස සැලකීම කවර වරදක්ද?
සභාපති රිජ්වේ තිලකරත්න මහතා දිනක් එවකට ගුවන්විදුලියේ ජනප්‍රිය වැඩසටහනක්ව තිබූ “ශනිදා සාදයේ” ප්‍රචාරය කිරීමට අලුත් ගීත රචකයකුගේ නිර්මාණයක් සංගීත අංශයේ නිෂ්පාදකවරයාට දුන්නේය. මේක හොඳ නම් කාටහරි කියලා තනුවක් හදලා හොඳ ගායකයකු ලවා ගායනා කරවන්න.
මේ ගීතය ටී.එම්. ජයරත්න ලවා ගායනා කරවීය. එච්.එම්. ජයවර්ධන තනුව නිර්මාණය කළේය. නිලධාරියා ඒ ගීතය සභාපතිට ඇසෙන්නට සැලැස්වීය. ඔහු සිගරුට් දෙක තුනක් අළු කරමින් දෙතුන් වතාවක් අසා සෑහීමකට පත්විය. ගීතය අතිශයින්ම ජනප්‍රිය විය. ගීතය රචනා කර තිබුණේ කාන්තාවකි. ඇගේ නම විමලා රංජනී පීරිස්ය.
එය ආරෑඪ නමකි. ගීතය රචනා කර තිබුණේ රිජ්වේ විසිනි. ඔහුගේ මුළු නම වූ වාද්දුවගේ රිජ්වේ පෙරේරා තිලකරත්න යන්නේ මුල් අකුරැ ඩබ්ලිව්.ආර්.පී. වෙනුවට විමලා රංජනී පීරිස් යෙදූ බව දන්නේ ටික දෙනෙකි. ඒ මේ ගීයයි.
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනි වූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරැ දා සිහිවෙනවා
මේ ගීතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණත් එහි ඇත්ත ගීත රචකයා සැඟවී සිටි බව දන්නේ ටික දෙනෙකි. ඇත්තම ගීත රචකයා සභාපති රිජ්වේ තිලකරත්න මහතා බව දන්නේ ටික දෙනෙකි. මේ පිළිබඳව රිජ්වේ තිලකරත්නගේ එකම බාල සොහොයුරා වූ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක, වැඩසටහන් නිෂ්පාදකව සිටි අශෝක තිලකරත්න මෙසේ අප හා පැවසුවේය.
මගේ අයියා පුංචි කාලේ ඉඳලම කොළඹ යුගයේ කවි ආසාවෙන් කියෙව්වා. පී.බී. අල්විස් පෙරේරා විසින් සංස්කරණය කළ ‘දේදුන්න’, ජෝන් රාජදාසගේ ‘මීවදය’ වගේ කවි සඟරා නිතර කියෙව්වා. අයියා කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කොළඹ යුගයේ පුංචි කවියෙක් හැටියට පත්තරවලට කවි ලිව්වා. ඒවා ප්‍රසිද්ධ කවි සඟරාවලට යැව්වා. ඒවා පළවුණාම දෙතුන් පාරක් බලලා සතුටු වුණා. මට අයියා 1949.07.30 දින ලියූ ‘ඈ’ කියන කවි පන්තියක එක කවියක් හමුවුණා.
එතකොට අයියාට වයස අවුරුදු 18 ක් විතර ඇති මගෙ හිතේ.
ඇය ඇවිදින විටක පොඩි පා පොළොව ඇත
කෙහෙරුලි විසිර යති ඒ මේ අතට පැන
මෙය දුටු ඇතැම් කවියෝ ඇගේ මිහිර දැන
කවි පොත් ලියති කාගෙත් සිත් කළඹ වන
1931 ජූලි 14 වැනිදා කොළඹ උපන් වාද්දුවගේ රිජ්වේ පෙරේරා තිලකරත්නගේ පියා වූයේ කොළඹ නගර සභාවේ ප්‍රවාහන අංශයේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළ එඩ්මන්ඩ් තිලකරත්න මහතාය. පියාගේ ගම වාද්දුවය. කොළඹ උපන් නන්දා නානායක්කාර මහත්මිය මව වූවාය. කුඩා රිජ්වේගේ කියවීමට තෝතැන්නක් වූයේ පුංචි මාමාගේ ඉංග්‍රීසි, සිංහල පොත් සහිත පුස්තකාලයයි. ඔහුට එහි ඇති හැම පොතක්ම පාහේ කියවීමට අවස්ථාවක් ලැබිණි. කොළඹ නාලන්දයේ ඉගෙනීම ලැබූ රිජ්වේගේ කවි සිත පුබුදු කළේ සිංහල ගුරැවරයා වූ යූ.ඒ.එස්. පෙරේරා මහතාය. ඔහු රිජ්වේ ඇතුළු පන්තියේ සිටි කරැණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සුමන අක්මීමනට කවි ලිවීමට අනුබල දුන්නා පමණක් නොව මේ සිව්දෙනාම ගුවන්විදුලියේ ළමා තීරයට කැඳවාගෙන ගියේය. ගුවන්විදුලියේ ළමා වැඩසටහන් සිරි අයියා නමින් මෙහෙයවූයේ මේ ගුරුවරයාය. සිරි අයියා ඔවුන්ගේ කවිත්වය, ලේඛන හැකියාව රටටම හඳුන්වා දුන්නේය.
නාලන්දාවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය රිජ්වේ ඉංග්‍රීසි හා සිංහලට මෙන්ම පාලි හා සංස්කෘත ඉගෙනීමට ද දක්ෂතා දැක්වීය. රිජ්වේ චිත්‍ර කලාව ගැන විශේෂයෙන් ප්‍රංශ සාහිත්‍යය හා යුරෝපීය චිත්‍ර කලාව ගැන පොතපත කියවීය. එඩ්ගාර් දෙගා (Edgar Degas), පෝල් සේසාන් (Paul Cezanne), හෙන්රි ද තුලුස් – ලෝත්‍රෙක් (Henri De Toulouse Lautrec) ආදී මහා ප්‍රංශ සිත්තරුන්ගේ චිත්‍ර ගැන විශේෂයෙන් අවධානය යොමු කළ අතර ඔවුන් ගැන පාසල් සඟරාවට ලිපි ලියා තිබුණි.ආනන්දයෙන් ලංකා විශ්වවිද්‍යාලයට පිවිස සංස්කෘත ගෞරව උපාධිය ලැබූ රිජ්වේ තිලකරත්න 1956 සිවිල් සේවා විභාගයෙන් ලංකාවෙන් දෙවැනියා ලෙස සමත් විය. ඔහු පොළොන්නරුවේ මහ දිසාපති වූ කාලයේ මුහුණදුන් අත්දැකීමක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මලල්ගොඩ බන්ධුතිලක මෙසේ ලියා තිබුණි.
ශ්‍රරද්ධාවන්ත බෞද්ධයකු මෙන්ම විසේ ඇති සිවිල් නිලධාරියෙක් වූ ඔහු දිසාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනකුත්, ගොවීන් කිහිප දෙනකුත් සමඟ ගණ වනය මැද පිහිටි සෝමාවතිය බලා ගමන් ගත්තේය. රුදුරු වන සතුරන්ගේ නිජබිමක් බවට පත්ව තිබූ සෝමාවතී චෛත්‍ය කරා දුෂ්කර ගමනක යෙදුණු රිජ්වේට සම්බුදු රජාණන් වහන්සේගේ ලලාට ධාතු නිදන් කර තිබුණද ගරා වැටුණු කඳු ශිඛරයක් බඳුව තිබූ මෙම මහා චෛත්‍ය රාජයා නැවත ගොඩනැගීමේ ස්ථිර අධිෂ්ඨානයෙහි පිහිටියේය.එහෙත් ආපසු එන විට ඔවුන්ට පාර වැරදිණි. දිසාපතිවරයා ඇතුළු පිරිස චෛත්‍ය වැඳ අසල ගැවසුණු වල් අලින්ද බලා ආපසු එන්නට පිටත් වූයේ රාත්‍රී හතට පමණය. ඔවුන් ගමන් කළ ජීප් රථය විල්ලුවට අවතීර්ණ වූ පසු ඒ මේ අත විහිදී ඇති නොයෙක් මාර්ග නිසා නිසි මග සොයාගත නොහැකිව එරික් ස්වෝන් ගල වෙත ගියහ. රථයේ තිබූ ඉන්ධන ක්ෂය වෙමින් පවතී. වල් අලින්ගේ ඝෝෂාවන්ද ඇසෙයි. අවසානයේ ඔවුන්ට සිදුවූයේ දුම්කොළ මැස්සකට ගොස් රැය ගත කරන්නටය.
එදා රූම රිජ්වේගේ සිතට ආවේ පොළොන්නරුවේ සිට සැතපුම් විසි පහක් මග ගෙවා යා යුතු සෝමාවතියට සැතපුම් හයක පමණ අලුතින් පාරක් සකස් කිරීමය. එය වසරක් යාමටත් පෙර ඉටුවිය. රිජ්වේ ඊළඟට රත්නපුරයේ මහා දිසාපති ලෙස පත්වී රජයේ ඉඩම් අක්කර 35,000ක් දුප්පතුන්ට බෙදා දී ආහාර වගාවට ඔවුන් උනන්දු කර ඇත. අම්පාරේ මහා දිසාපති හැටියට ගල්ඔය මිටියාවතේ දකුණු ඉවුරේ අක්කර 3,500ක අල, ලූනු හා මිරිස් වගා කිරීමේ යෝධ ව්‍යාපාරයක් ඇරඹුවේය.
1973 වසරේ රිජ්වේට කාර්යබහුල වසරක් විය. ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශයේ ලේකම්, ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් පදවියටත් පත් කරනු ලැබීය.
රිජ්වේ තිලකරත්න ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මුල් රාජකාරි කටයුත්ත හැටියට රජයේ චිත්‍රපට අංශයට පැමිණි අවස්ථාවක් ගැන තිස්ස අබේසේකර මතක් කර තිබුණි.
අලුත් ලේකම්තුමා බැහැදැකීම සඳහා කැඳවන තුරු අපගේ කාමරවලට වී සිටින්නැයි පාලක කළමනාකරු පෞද්ගලිකව පැමිණ චිත්‍රපට අධ්‍යක්ෂවරැන්ට දන්වා සිටියේ පස්වරු දෙකට පමණය. පහට කිට්ටු වී ඇති බැවින් මමත් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු වූ තිස්ස ලියනසූරියත් ගෙදර ගියෙමු. ගෙදර ගොස් ඇඳුම් මාරුකොට මුහුණ කට සෝදාගන්නා විට දුරකතනය නාද විය. තමා එනතුරු නොසිට පිට යාම ගැන කිපුණු ලේකම්තුමා අපට නිවෙස්වලින් කැඳවන ලෙස පැවසූ නිලධාරියකු සමඟ වාහනයක් එවා තිබුණි. රැස්වීම පැවැත්වූ කාමරයට අන්තිමටම පැමිණියේ මාය. කිසිදු කලබලයකින් හෝ දෝෂ චිත්තයකින් තොරව කාමරයට ඇතුළු වන මා දෙස උපැස් යුවලට යටින් තියුණු බැල්මක් හෙලූ රිජ්වේ මොහොතක් නිහඬව සිටියේය.
නම මොකක්ද?
තිස්ස අබේසේකර
තවත් නිහැඬියාවකි. ඔහුගේ ඇස නොසෙල්වී මා දෙස බලා හිඳියි. ඔහු මා සමඟ කතා කළේ ඉංග්‍රීසියෙනි.
තනතුර
චිත්‍රපට අධ්‍යක්ෂ
කළ වරදට පසුතැවිල්ලක් නැතිව වගෙයි.
මම වරදක් කළේ නැහැ.
ඉහළ නිලධාරියකුගෙ නියෝගයක් පිළි නොපැදීම බරපතළ වරදක්.
මා කඩ කළ නියෝගය කුමක්ද?
මා හමුවීම සඳහා ඔබගේ අසුන්වල සිටිය යුතු යැයි නියෝගයක් ලැබුණේ නැද්ද?
ලැබුණා. එහෙත් පහෙන් පසු ඔබතුමා වෙනුවෙන් අසුනේ රැඳී සිටිය යුතු යැයි කවුරුවත් නියෝග කළේ නැහැ.
ඔහුගේ තියුණු ඇස් මා වෙතින් ඉවත්ව පහළට යොමුවිය.
සන්නිවේදනයේ පුංචි ඇනහිටීමක් සිද්ධවෙලා තියෙනවා. කනගාටුයි. වාඩිවෙන්න.
ඔහුගේ වදන් මා තුළ වූ මෝඩ අහංකාරකමත්, මුරණ්ඩුකමත් සැණෙකින් බිඳ දැම්මේය. පසුතැවිල්ලක් හා ලජ්ජාවක් වැනි හැඟීමක් මා සිත පෙළන්නට විය.
ගරුසරු නැතිකමක් මගේ අතින් වුණා නම්, මට සමාවෙන්න සර්.
මේ සංවාදය ඇතිවී සතියකට පසුව බණ්ඩාරනායක සමරුව නිමිත්තෙන් විශේෂ වාර්තා චිත්‍රපටයක් සෑදීමට රිජ්වේ විසින් බාරදුන්නේ කෙටි කාලයකි. කෙටි කාලයක් තුළ මේ චිත්‍රපටය යුග දෙකක කතාවක් නමින් නිමකොට තිස්ස විසින් ලේකම්තුමාට ප්‍රදර්ශනය කර ඇත. චිත්‍රපටය බලා සුපුරැදු තියුණු නෙත් සඟල උපැස් යුවල යටින් තිස්ස දෙස බලා සිටියේය.
ස්තූතියි තිස්ස, ඔබ ගැන මට ආඩම්බරයි!
සර් මීට වැඩිය කලින් කියනව නම් හොඳ වැඩක් කරන්න පුළුවන්.
ඔහොම තදියමේ වැඩ කරනකොට තමයි තිස්සගේ හැකියාවන් මතුවෙන්නේ.
තිස්සගේ මේ සටහන රිජ්වේගේ පරිපාලන ක්‍රියාවලියේ එක පැත්තක් පැහැදිලි වෙයි. ගුවන්විදුලියේ සභාපතිවරයා ලෙස සුභාවිත ගීතය පෝෂණය කිරීමට ගත් තීරණය මත ප්‍රබුද්ධ ගී, නව නිර්මාණ, ස්වරරංග, ගීත තරංගනී, නිර්මාණ වින්දන, ශනිදා සාදය, සඳැල්ල, ළමා සංගීත සන්ධ්‍යාව, ස්වරවර්ණ වැනි උසස් සංගීත වැඩසටහන් බිහිවිය. ගුවන්විදුලි සංගීත ප්‍රතිපත්තියක් ද සකස් කිරීමට මුල් විය. ඔහුගේ තීරණයක් මත හොඳ ගීත රචනා සුභාවිත ගීත සඳහා ගැයීමට පද රචනයේ අනුමැතිය අවශ්‍ය විය. ඒ අතර ප්‍රවීණයන්ගේ රචනා හැමවිටම ප්‍රසංශාවට ලක්විය. රිජ්වේ විසින්ම හොඳ ගීත රචනා තෝරාගත් අවස්ථා තිබුණි. මේවා තෝරන මණ්ඩලයට මඩවල රත්නායක මහතා ද එක්විය. දිනක් මඩවල විසින් හියුබත් දිසානායක විසින් එවන ලද ගී කිහිපයක් ගැන සභාපතිවරයා දැනුවත් කොට ඒවා පෙන්වා ඇත.
මෙ හියුබත් දිසානායක මහත්තයා එවල තියෙන සින්දු වගයක්.
හියුබත් දිසානායක මහත්තයගෙ සින්දු බලන්ඩ මං කවුද? ඕවා ඔහොම්මම ප්‍රචාරය කරවන්න.
මඩවල එස්. රත්නායක වරක් පැවසුවේ රිජ්වේ කෙනකුගේ දක්ෂතා හැමවිටම අඟවන බවය. තමාගේ අඹ යහළුවකු වුවද වරදක් කළ විට දඬුවම් දීමට මැළි නොවන ඔහු කෙනකුට විරැද්ධව ගතුවක් කී විට ඒ ගැන කලබල නොවී කාලයක් යනතුරැ සොයා බලා යථා තත්ත්වය අවබෝධ කරගන්නා බවය. නිල බලය පමණක් ආරක්ෂා කර නොගත් ඔහු ජාතික සංස්කෘතියේ ආරක්ෂාව පතා විශාල වැඩ කොටසක් කළ බවය. මඩවල රත්නායකයන් රිජ්වේ පාලන සමයේ සිදුවූ අපූරැ සිද්ධියක් මෙසේ සටහන් කර තිබුණි.
ප්‍රතිභාපූර්ණ කවියකු හා ගීත රචකයකු වූ ඩෝල්ටන් අල්විස් බොහෝ දිනවල ගුවන්විදුලි කාර්යාලයට නොපැමිණෙයි. පැමිණියද පැමිණීමේ ලේඛනයේ අත්සන් කිරීමට අමතක වෙයි. හේතුව කුමක් වුවත් දින අනූ ගණනක් සේවයට පැමිණ නැති බැවින් මොහු සේවයෙන් අස්කිරීමට හේතුවන බැවින් ඒ සඳහා අනුමැතිය ඉල්ලා පාලන අංශය සභාපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කළේය. අමරදේවයන් විසින් ගැයූ “සසර වසන තුරු නිවන් දකින තුරු” ගීතයට සභාපතිවරයා ප්‍රිය කළේය. එය රචනා කළේ ඩෝල්ටන් බවත් දැන සිටියේය. මේ ගැන වාර්තාවක් මගෙන් ඉල්ලා තිබුණි. මම විසින්ම ගුවන්විදුලියට පැමිණීමට මං සාදා දුන් ඔහු අමාරැවේ වැටීමට ද දෙන්නට බැරිය. ඊටත් වඩා මා ලියන වැරදි තොරතුරැ නිසා මගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන්න බැරි නැත. සත්‍ය වසං කිරීම රිජ්වේ තිලකරත්න මහතාගේ කෝපය දනවන්නට හේතුවෙයි. තමා අතින් වූ වරද නොවලහා හෙළි කිරීමෙන් ඔහුව ක්ෂමා කරවාගත හැක. මා ලියූ වාර්තාව බලා රිජ්වේ මහතා කුරැමිණි කකුල් වැනි අකුරැවලින් ලියැවී ඇති සටහනක් එහි විය. “සසර වසන තුරැ” මෙවැන්නක් යළි සිදු නොවේවා ඩෝල්ටන්ට සමාව ලැබිණි. ඔහු දිනපතාම වගේ රාජකාරියට වාර්තා කර තිබුණි.
රිජ්වේ තිලකරත්න විසින් ගුවන්විදුලිය උසස් තැනකට නැංවීමේ වංශකතාව වෙනමම ලිවිය යුත්තකි. උසස් කලා විචාරකයකු වූ ඔහු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අවසන් කාලයේ 1955 සංස්කෘති සඟරාවට ලියූ ප්‍රංශයේ නව චිත්‍ර කතාව ලිපිය ඔහු තුළ චිත්‍ර කලාව පිළිබඳ දැනුම මොනවට පිළිබිඹු වෙයි.
රිජ්වේගේ එකම සොහොයුරා අශෝක තිලකරත්න අපට කීවේ, ඔහු යටතේ නිවේදකයකු, වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස සිටි කාලයේ කිසිම වරප්‍රසාදයක්, සැලකිල්ලක්, උසස්වීමක් තමා නොලැබූ බවය.
අයියාට වඩා මම අවුරැදු 11ක් බාලයි. ඒ නිසා මම ඔහුට සැලකුවේ පියකුට මෙන්. අයියා ගුවන්විදුලියේත්, අමාත්‍යංශයේත් ඉහළම තනතුරු දැරූ නිසා ආතතියෙන් වැඩ කළේ. මේ නිසා අධික ලෙස දුම්වැටි බිව්වා. දවසකට සිගරැට් පැකට් 5ක් විතර බිව්වා. රෑ වෙලා ගෙදර ඇවිත් කෑම කාලා ෆයිල් බැලුවා. සෞඛ්‍ය ගැන හිතුවේම නෑ. මේ නිසා හෘද රෝගියෙක් වුණා. අයියා රාජකාරිය දේව කාරියක් ලෙස සැලකුවේ.*
රිජ්වේ තිලකරත්න විවාහ වූයේ පානදුරේ ඉඩම් හිමි ධනවත් ව්‍යාපාරික මහතකුගේ දියණියක් වූ දයාශීලි පෙරේරා මෙනෙවිය සමඟය. තිලකරත්න යුවළට සෞම්‍යා නම් දියණියක් ද අශ්වින් නම් පුතකුද සිටිති. සෞම්‍යා විවාහ වී වතුපිටි බලාගනිමින් සිටින්නීය. අශ්වින් ව්‍යාපාර කටයුතුවල නියැලී සිටියි.
නිතරම ඝන කාච සහිත උපැස් යුවළකින්ද, ලා නිල් පැහැති අත්දිග කමිසයකින්ද කළු කලිසමකින් හා මුවගේ දුම්වැටියක් දල්වාගෙන ගුවන්විදුලි කොරිඩෝව දිගේ ඇවිද තම සභාපති කුටියට යන, කඩිසර මඳ සිනාවකින් කාටත් සම සේ සංග්‍රහ කරන මේ මහා පුරැෂයා 1981 අගෝස්තු 19 වැනිදා හෘද රෝගයෙන් අකාලයේ මියයන විට පනස් වැනි උපන් දිනයට ආසන්නව සිටියේය.
Writer: Unknown
Source: www.deshaya.lk