ක්‍රි.පූ. 776 සිට ක්‍රි.ව. 393 දක්වා ග්‍රීසියේ ඔලිම්පියාහි සියුස් දෙවොල අසල පැවැත්වූ ඉපැරණි ඔලිම්පික් උළෙල, ආගමික චාරිත්‍රනුකූල ස්වරූපයක් ගත් ක්‍රීඩා උත්සවයක්. නූතන ඔලිම්පික් උළෙල ඇරඹුනේ, ඉන් වසර 1503කට පසුව 1896දී, පියරේ කුබර්ටීන්ගේ අදහසක් අනුවයි. “ඔලිම්පික් ගිනි සිළුව” දැල්වීම, මෙකී ඉපැරණි ඔලිම්පික් උත්සවය සහ නූතන උත්සවය යා කරන සංකේතාත්මක චාරිත්‍රයක් ලෙස සැලකිය හැකියි.
කිසියම් වසරක ඔලිම්පික් සමාරම්භක උළෙල පැවැත්වීමට මාස කීපයකට පෙර, ග්‍රීසියේ ඔලිම්පියාහී ඉපැරණි ඔලිම්පික් උත්සවය පැවැත්වූ භූමියේදී ගිනි සිළුව දල්වා ගන්නවා. එහිදී, සූර්ය තාපයෙන් ගිනි උපදවා ගැනීම සඳහා පරාවලයික දර්පණයක් යොදාගන්නවා.
අභිවහන රංගනයක ස්වරූපය ගත් මේ චාරිත්‍රය සඳහා කාන්තාවන් එකොළොස් දෙනෙකු සහභාගී වෙනවා. ඔවුන් නිරූපණය කරන්නේ වෙස්ටල් කන්‍යාවියන් ලෙස හැඳින්වෙන පූජකවරියන්ගේ චරිත. ඔවුන් රෝමයේ පූජනීය උදුන සහ එම උදුනෙහි දැල්ලට අධිපති කන්‍යා දෙවඟන වන වෙස්ටාගේ පූජකවරියන්.
දල්වාගත් සිළුව ඔලිව් අත්තක් ද සමග, ප්‍රධාන කන්‍යාවිය විසින් ග්‍රීක මලල ක්‍රීඩකයෙකුට පිළිගන්වනවා. ඊට පෙර සාමය සංකේතවත් කරමින් පරවියෙක් නිදහස් කිරීම ද සිදු කෙරෙනවා. ඉන් පසු මුලින් ග්‍රීසිය පුරාත්, පසුව තරඟ වදින අනෙක් රටවලත් ගිනි සිළුව ගෙන ධාවනය කිරීම සිදු වෙනවා.