සම්මානනීය නාට්‍ය කීපයක් වේදිකාවට දායාද කළ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ හොඳම නිර්මාණය වීමට බොහෝවිට ඉඩකඩ තිබූ නාට්‍යය ඔහු ජීවතුන් අතර සිටියදී නැරඹීමට නාට්‍යලෝලීන්ට අවස්ථාව නොලැබුණු බව ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙනිය පවසයි.

“මනෝ ජපන් ජාතික සුප්‍රකට සිනමාකරු අකිරා කුරසෝවාගේ ‘රසෝමාන්’චිත්‍රපටයට පසුබිම් වූ කතාවක් වන අකුතගාවාගේ කෙටිකතාවක් පදනම් කරගෙන නාට්‍යයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටියා. එය ගීත ගායනා ඇතුළත් නාට්‍යයක්. මනෝ එහි පිටපත ‘වන ලැහැබ’ නමින් සකස් කරලා එය වේදිකාවට ගෙන ඒමට පුරුදු පුහුණුකිරීම්වලට පවා අත ගහල තිබුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේට එය අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය පවරලා තිබුණා. නමුත් ප්‍රසන්නගේ කාර්ය බහුලත්වය නිසා එය ඉක්මණින් වේදිකාවට ගෙන එන්න බැරි වුණා.”

ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙනිය එම ප්‍රකාශය කළේ, දිවියෙන් සමුගත් ආචාර්ය ජයලත් මනෝරත්නයන් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ සිංහල නාට්‍යය මෙන්ම චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ රාශියකට සම්බන්ධ දැවැන්තයකු වූ ආචාර්ය ජයලත් මනෝරත්න පසුගිය දා දිවියෙන් සමුගත් අතර සහෘද ජනතාව ඔහු වෙනුවෙන් බුහුමන් පළ කළහ.

නිර්මාණ චාරිකාව

ප්‍රාසාංගික කලා ලෝකය පමණක් නොව කාව්‍ය කෙටිකතා සහ විචාර කෘතීන් රචනයෙහි නිරතව සිටි ජයලත් මනෝරත්නයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගත් අතර, ආචාර්ය උපාධිය හිමිකර ගන්නා ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද පර්යේෂණ නිබන්ධයක් වෙනුවෙනි. පසුව පේරාදෙණිය සරසවිය මගින් ඔහුට ශාස්ත්‍රශූරී සම්මාන උපාධිය පිරිනමනු ලැබිණි.

මහ ගිරිදඹ, ගුරුතරුව, තලමල පිපිලා, අන්දරේලා, මාල වළලු, පුත්‍ර සමාගම සහ සඳගිර වැනි සම්මානලාභී නාට්‍ය කිහිපයක් ද, ‘දවස තවමත් තරුණයි’ නවකතාව සහ කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණ චාරිකාවේ දී ඔහු සහෘද ලෝකයාට ඉතිරි කරන ලද උසස් නිර්මාණ වෙති.

හොඳම වේදිකා නළුවා, හොඳම ටෙලි නාට්‍ය නළුවා සහ හොඳම චිත්‍රපට නළුවා ලෙස මහජන සම්මානයට පාත්‍ර වී ඇති ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය කිහිපයකටම රාජ්‍ය සම්මාන හිමි විය.

කියවන්න:  Sake(සකේ): ජපානයෙන් උපත ලැබූ සකේ

ආචාර්ය ජයලත් මනෝරත්න යනු විවිධ දිශානතීන්හි පැතිරුණ නිසග කුසලතා එකතැනක සංයුක්ත වූ ජීවිතයක් සඳහා නිදසුනක් ලෙස ගත හැකි චරිතයකි.

පේරාදෙණියෙන් ඇරඹුණ ගමන් මග

“අපි දෙන්නා පේරාදෙණියේ දී පළමු වතාවට එකට රඟපෑවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී ශෝකෝ’ වේදිකා නාට්‍යයේ. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘උද්දාල’ බමුණාගේ චරිතය රගපෑවේ මනෝ. මම රඟපෑවේ උද්දාල බමුණාගේ ශිෂ්‍යයකුගේ චරිතයක්”

ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙණිය කලාලෝකයේ සිය ප්‍රමුඛ සගයකු වන ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ දිවිමග පිය සටහන් ඔස්සේ යමින් කලා ලෝකයට අවතීර්ණ වීමේ සමාරම්භය පිළිබඳ මතකය අවදි කරයි.

“පේරාදෙණියේ දී අපි දෙන්නාම නාට්‍ය සහ සංගීත ලෝකයට පිය තැබුවේ අපේ ගුරුවරයා වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මග පෙන්වීමෙන් එතුමාගේ නාට්‍ය නිර්මාණ තුළින්. අපි දෙන්නාටම සමාන සමාජ පසුබිමක් තිබුණා. අපි දෙන්නාම ගැමියෝ. ඔහු නුවරඑළියේ ‘දෙහිපේ’ ගමේ . මම රත්නපුරයේ ‘පනාවැන්නේ’.පසුව මට ‘මනමේ’ සහ ‘සිංහබාහු’ චරිතවලට පණදීමේ වරම ලැබුණා. ඒ වගේම පේරාදෙණිය සරසවියේ ‘සිංහල සංගමය’ සහ ‘ගාන්ධර්ව සභාව’ වැනි කලා සංවිධාන තුළින් ලද දැනුමෙන් අපි අපේ නිසග කුසලතා තවත් ඔපවත් කර ගත්තා”

“මට මතකයි- වරක් සිංහල සංගමයේ නිලවරණයක දී අපි දෙන්නා තරග වැදුණේ කණ්ඩායම් දෙකක් නියෝජනය කරමින්. අපි පැරදුනා. මනෝ නියෝජනය කළ කණ්ඩායමටයි නිලතල හිමිවුණේ. ඒත් අපි පහුවදා පටන් එකට අපේ අධ්‍යාපන සහ කලා කටයුතු එකට කරගෙන ගියා”

නිශ්ශංක දිද්දෙණිය සිය මිතුරා සම්බන්ධ රසමුසු සිදුවීම් පෙළ දිග හරිනු ලබන්නේ ශෝකී ස්වරයකිනි.

සරසවි අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව නුවරඑලියට ගිය ජයලත් මනෝරත්නයන් පසුව කොළඹට පැමිණ සිය සරසවි සගයා වූ නිශ්ශංක දිද්දෙණිය ඇතුළු කලාකරුවන් කණ්ඩායමක් සමඟ නුගේගොඩ එකම බෝඩිමක ලැගුම් ගනිමින් නාට්‍ය ලෝකයට පිවිසියේය.

“මම මනමේ කණ්ඩායමත් එක්ක නුවරඑලියට ගිය වෙලාවක මනෝ මුණගැහුණා. ඉතින් මම කිව්වා නුවරඑළියේ හීතලේ නොඉඳ කොළඹට ඇවිත් නාට්‍ය කරමු කියල. ඒ කාලේ හෙන්රි ජයසේන ‘මකරා’ නිෂ්පාදනය කරමින් සිටියා. මම මනෝට යෝජනා කළා ‘මකරා’ට සම්බන්ධ වෙන්න කියල.අපේ නුගේගොඩ බෝඩිමත් අපූරු තැනක්. මම, මනෝ, බුද්ධදාස ගලප්පත්ති, අබේවර්ධන බාලසූරිය සහ චන්ද්‍රගුප්ත තේනුවර අපි එකටයි හිටියේ”

නිශ්ශංක දිද්දෙණිය පවසයි.

කියවන්න:  සිංහල කවියෙහි මහගම සේකර බලපෑම සහ ඔහුගේ නිර්මාණ

එකම නාට්‍යයේ චරිත තුනක්

“ගජමන් පුවතේ මනෝ මුලින්ම රඟපාන්නේ මාතර යුගයේ කවියකු වූ කටුවානේ මුහන්දිරම් ගේ චරිතය. ඊළඟට ඔහු ඇඳුම් ආයිත්තම් මාරුකරගෙන ගජමන් නෝනාගේ පියා ‘මහ ගජමන් ආරච්චි’ හැටියට වේදිකාවට එනවා. ඒ නාට්‍යයේ මාතර ‘නූපේ’ වෙළෙඳපොළේ ඒ කාලයට ගැළපෙන දර්ශනයක් තියෙනවා. මනෝ එතැනත් ඉන්නවා සාමාන්‍ය ගැමියෙක් හැටියට. ඒ වගේ නළුවන්ට තමයි කියන්නේ චරිතාංග නළුවො කියල”

දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ ‘ගජමන් නෝනා’ වේදිකා නාට්‍යයේ ‘ඇලපාත මුදලි’ චරිතයට පණදුන් නිශ්ශංක දිද්දෙණිය එම සුමියුරු අතීතය මෙනෙහි කරන්නේ යළි එම වේදිකා නාට්‍යයේ දර්ශන පිළිබඳ චිත්ත රූප මවමිනි.

“ඒ චරිත තුනේ ස්වාධීන ගති ලක්ෂණ නිරූපණය වෙන ආකාරයට ඒවා රඟපාන්න මනෝ සමත් වුනා”

“අපි ලුම්බිණියේ නාට්‍ය උත්සවයක් කළා ‘මනෝරත්න සහ දිද්දෙනිය නාට්‍ය උළෙල’ කියල. අපි දෙන්නා රඟපාපු නාට්‍ය හයක් තෝරාගෙන. ඒ වගේම අපි සහෘද හමුවල දී ‘”දිගා සහ මනෝ’ එහෙමත් නැත්නම් ‘මනෝ සහ දිගා’ වැනි තේමාවන් යටතේ නාට්‍ය ගීත ඇතුළු ගායනා ඉදිරිපත් කළා. සහෘද හමුවල දී අපි දෙන්නා ඉදිරිපත් කරපු ගායනා වීඩියෝ කරලා දැන් ෆේස් බුක්වලත් සමහරු පළ කරලා තියෙනවා.”

මේ විනෝදශීලී,සෞන්දර්යකාමී ඒ වගේම විද්වත් කලාකරුවා අහිමිවීම මගින් ඇති කරන්නේ පිරවිය නොහැකි රික්තයක්” යයි පවසන ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙණිය ජීවිත වේදිකාවෙන් බැසයන සිය සගයා වෙනුවෙන් උපහාරය පුදයි.

“අපේ ගුරුවරයා”

“මම මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍ය හයක රඟපාලා තියෙනවා. ඒ වගේම ඔහුත් එක්ක චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රාශියකත් රඟපෑවා. ඔහු අහිමිවීම විශාල පාඩුවක්”

සම්මානලාභී රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි පවසයි.

“අපි ඔහුගෙන් ගොඩාක් දේ ඉගෙන ගත්තා. ඔහුත් සමඟ වැඩ කිරීම පහසුයි.හැමවිටම ඔහුගෙන් අපට ලැබුණේ යහපත් උපදේශයක්”

ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

“නාට්‍යයක් පුහුණු වෙන අවස්ථාවක ලබන විවේකයක දී අපි සල්ලාපයේ නිරත වෙන අවස්ථාවක පවා ඔහු අපට උපදෙස් දුන්නේ පොතක් පතක් කියවන ලෙසයි. ඔහුත් නිතරම පොත් පත් කියැවූ කෙනෙක්”

සම්මානලාභී රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි පවසන්නීය.

කියවන්න:  අමරදේව නැවත කියවීම

ගැමි දරුවෝ 

කලාව තම ආත්මය කරගත් නමුත් සිය සමාජමය යුතුකම් සහ වගකීම් ඉටු කිරීමෙහිලාත් ඉදිරිපත් වූ සැබෑ මිනිසෙකු ලෙසත් ආචාර්ය ජයලත් මනෝරත්න ඉතිහාසයට එක්වෙයි.

‘මනෝ’ පිටිසරින් පැමිණි පේරාදෙණිය සරසවියේ සමකාලීනයන් විසින් නිර්මාණය කරන ලද ‘ගැමි දරුවෝ” සංවිධානයේ උද්යෝගිමත් සාමාජිකයෙකු විය.

ගැමි දරුවන්ට උදව් උපකාර කිරීම එම සංවිධානයේ පරමාර්ථය වෙයි . සිය මුල් සිඳ නොගත් ‘මනෝ’ නම් අපූරු ගැමියාත් එම පරමාර්ථය වෙනුවෙන් ඈත පිටිසර ගම්බද පලාත්වල පවා සිය කණ්ඩායමත් සමඟ චාරිකාවේ නිරත විය.

(2020 ජනවාරි 12 දින දිවියෙන් සමුගත් ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අවමඟුල් කටයුතු ජනවාරි 15 දින සිදුකරනු ලැබුණි)

BBC ඇසුරිනි.