මව් තාරකාව වටා භ්‍රමණය වන සුපර්හැබිටබල් ග්‍රහයෙකුගේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් -www.cnet.com

විශ්වය තුළ ජීවය පවත්නා ග්‍රහලෝකයක් ලෙස අප තවමත් දැනුම්වත් වී ඇත්තේ අපේ ම මව් ග්‍රහලෝකය ගැන පමණ යි. තවමත් පෘථිවියෙන් එපිට පවතින ජීවයක් ගැන අපට සෘජු සාක්ෂි හමු වී නැහැ. එහෙත්, ජීවය උදෙසා සහයෝගය ලබාදීමේ විභවයක් සහිත ග්‍රහලෝක කිහිපයක් ගැන විද්‍යාඥයන් අවධානය යොමු කර තිබෙනවා. ඒවායින් ඇතැමෙක් අපගේ ග්‍රහ පද්ධතිය වන සෞරග්‍රහ මණ්ඩලය තුළ ම පිහිටා තිබෙන අතර, අනෙක් ග්‍රහයන් සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට පිහිටා තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පිහිටන ග්‍රහලෝක හඳුන්වන්නේ “බහිර් ග්‍රහලෝක” යනුවෙන්. බහිර් ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයන වඩාත් පුළුල් ව දැන් සිදු කෙරෙනවා. එම අධ්‍යයන හරහා එකරාශි වන තොරතුරු ඇසුරෙන් අලුත් අදහස්, සංකල්පය පවා බිහි වෙනවා. මේ ලිපිය වෙන් වන්නේත් එවැනි නැවුම් සංකල්පයක් වෙනුවෙන්.

සුපර්හැබිටබල් ග්‍රහලෝක

නවත ම අධ්‍යනයකට අනුව පෘථිවියටත් වඩා ජීවයට සහයෝගය දක්වන ග්‍රහලෝක විශ්වයේ පැවතිය හැකි බව පැවසෙනවා. මෙම ග්‍රහලෝක ” සුපිරි තත්ත්වයෙන් වාසයට සුදුසු ග්‍රහලෝක (Superhabitable/සුපර්හැබිටබල්)” ලෙස හඳුන්වන අතර, එම ග්‍රහලෝක හා සැසඳීමේ දී පෘථිවිය යනු ජීවය සඳහා පරිපූර්ණ ස්ථානයක් නොවෙයි. දැනට අප දැනුම්වත්ව ජීවය පවත්නා එකම ග්‍රහලෝකය පෘථිවිය බැවින්, පෘථිවිය තුළ පවත්නා ජීවයට හිතකර සාධක අනෙකුත් ග්‍රහලෝකවල පවතිනවාදැ යි සොයා බැලීම සිදු කෙරෙනවා. නමුත්, එය කොතෙක් දුරට සාධාරණදැ යි ප්‍රශ්න කරන විද්වතුන් පිරිසක් සිටිනවා.

ඩර්ක් ෂූල්ස්-මකුච් – www.gfz-potsdam.de 

තවත් පෘථිවියක් සෙවීම උචිත ද?

“පෘථිවියේ දර්පණ ප්‍රතිබිම්බයක් හා සමාන තවත් ග්‍රහලෝකයක් සොයා ගැනීමට තමයි අපි නිතර ම උත්සහ කරන්නේ. නමුත්, ඒ හේතුව නිසා ම පෘථිවියටත් වඩා ජීවයට සුදුසුකම් ලැබූ ග්‍රහයන් අපිට මඟ හැරෙන්න පුළුවන්.”

වොෂිංටන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව සහ ජීවයට සුදුසු ග්‍රහයන් පිළිබඳ මහාචාර්යවරයකු වූ ඩර්ක් ෂුල්ස්-මකුච් දරන්නේ එවැනි අදහසක්.

සුපර්හැබිටබල් ග්‍රහලෝක පිළිබඳ සංකල්පය මුලින් ම හඳුන්වා දුන්නේ රෙනේ හෙලර් සහ ජෝන් ආම්ස්ට්‍රෝන්ග්. මෙම සංකල්පයට අනුව ග්‍රහලෝකයක් ජීවයට සුදුසු වීමට නම් එම ග්‍රහලෝකය වාසයට සුදුසු කලාපයේ (Habitable Zone හෝ HZ කලාපය) පිහිටීම අනිවාර්ය වන්නේ නැහැ.

{පැහැදිලි කිරීම: HZ කලාපය යනු තාරකාවකට ජීවය සඳහා ආධාර කළ හැකි කක්ෂීය දු‍රෙන් ආවරණය වන කලාපය යි. එම කලාපය තුළ පිහිටන ග්‍රහලෝකයකට ජලය ද්‍රව අවස්ථාවේ පවත්වා ගෙන යෑමට හැකියාව තිබෙනවා. පෘථිවිය තුළ ජීවය පවත්වා ගෙන යෑම සඳහා ද්‍රව ජලය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියා කරනවා. එසේ නම්, පිටස්තර ග්‍රහලෝකත් ජීවය පවත්වා ගැනීම සඳහා ද්‍රව ජලය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකන බවට වූ උපකල්පනය මත Habitable zone නමැති ප්‍රදේශය අර්ථ දක්වනවා.}

HZ කලාපයෙන් ඔබ්බට වන්නට පිහිටි අයිස් ස්ථරවලින් වැසුණු ග්‍රහයන් පවා අයිස් ස්ථරවලට යටින් ක්‍රියාත්මක වන උදම් ශක්තිය හා භූතාපජ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජීවයට සහය දැක්විය හැකි සම්භාවිතාවක් තිබෙනවා. තවත් සරල ව පැහැදිලි කළහොත්, පෘථිවියට සමාන නොවූ පමණින් බාහිර ග්‍රහලෝකයක් ජීවයට නුසුදුසු යැයි පැවසීම සුපර්හැබිටබල් ග්‍රහ සංකල්පය යටතේ සාධාරණ නැහැ. ඇතැම් විට එම ග්‍රහලෝක පෘථිවියටත් වඩා ජීවි පරිණාමය සඳහා උචිත සාධක සපයන ස්ථාන විය හැකි යි.

ග්‍රහයෙක් සුපර්හැබිටබල් වීමට සාධක කිහිපයක් බලපානවා – www.thesun.co.uk 

සැක සහිත ග්‍රහයන් විසි හතරක්

 ෂුල්ස්-මකුච් සහ ඔහුට සහාය දක්වන්නන් සිදු කරගෙන යන අධ්‍යන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස බහිර් ග්‍රහලෝක 24 ක් “සුපර්හැබිටබල්” ලෙස හැඳින්වීමේ හැකියාවක් සහිත තරගකරුවන් බව පැවසෙනවා. ඒවා සියල්ල ම පාහේ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100 කට වඩා ඈතින්. එම බහිර් ග්‍රහලෝකවල ජීවය පවතින බව ඔවුන් තහවුරු ඇතැයි මින් අදහස් වන්නේ නැහැ. නමුත්, ඔවුන්ගේ සංකල්පය දිගින් දිගට ම පවත්වාගෙන යෑමේ විභවයක් මේ ග්‍රහයන් 24 සතුව තිබෙනවා.

“අප සුපර්හැබිටබල් ග්‍රහලෝක සොයාගෙන ගියත්, ඒවායේ ජීවය පැවතීම අනිවාර්ය බව එයින් අදහස් වන්නේ නැහැ. ග්‍රහලෝකයක් වාසයට සුදුසු නමුත්, ඒවා ජීවින් ගෙන් තොරව පවතිනවා වෙන්න පුළුවන්. එය ග්‍රහලෝකයේ ස්වභාවික ඉතිහාසය හා සම්බන්ධ දෙයක්.”

සුපර්හැබිටබල් ග්‍රහයන් සම්බන්ධයෙන් වූ තවත් වැදගත් කරුණක් ෂුල්ස්-මකුච් ඒ අයුරින් ඉස්මතු කර තිබෙනවා. ජීවත් වීම සඳහා සියලු සාධක සහ පහසුකම් සහිත පාළුවට ගිය නිවසක් ගැන සිතන්න. අවශ්‍ය නම් මිනිසකුට ඕනෑම මොහොතක එහි පදිංචි වී ජීවත් වෙන්න පුළුවන්. විශ්වයේත් මෙවැනි ජීවයෙන් තොර එහෙත්, ජීවයට සුදුසු ග්‍රහලෝක තිබිය හැකි බව ෂුල්ස්-මකුච් විශ්වාස කරනවා.

සූර්යයා සහ “K dwarf” අන්දමේ තරුවකින් ග්‍රහලොවක් ආලෝකමත් වන අයුරු – www.cnet.com 

කෙසේ නමුත්, පෘථිවිය හා සංසන්දනය කිරීමේ දී සුපර්හැබිටබල් ග්‍රහයන් සතු ව පොදු ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒවා පෘථිවියේ වර්තමානයට සාපේක්ෂව වැඩි ජෛව ස්කන්ධයක් සහ ජෛව විවිධත්වයක් ඇති ග්‍රහලෝක (ජීවය පවතිනවා නම්) ලෙස සැලකෙනවා. පෘථිවියට වඩා සුපර්හැබිටබල් ග්‍රහලෝක තරමක් පැරණි හා විශාල වන අතර, පෘථිවියට සාපේක්ෂව වැඩි උණුසුමක් සහ තෙතමනයක් සහිත පරිසරයක් මෙම ග්‍රහලෝක කාණ්ඩය සතුව පවතින බව අනුමාන කරනවා.

කියවන්න:  Facts about the CORONA VIRUS OUTBREAK: It Came From Space

පෘථිවියත් “සුපර්හැබිටබල්” ව සිටියා

 පෘථිවිය අතීතයේ දී වර්තමානයට වඩා ජීවය සඳහා සුදුසු ස්ථානයක් ව පැවති බව “සුපර්හැබිටබල් ග්‍රහයන්” පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කරන්නන් පවසනවා. පෘථිවියේ ස්වභාවික ඉතිහාසය පුරා ම පෘථිවියේ “වාසයට සුදුසු බව” වෙනස් වී ඇති බව ඉන් අදහස් කෙරෙනවා. උදාහරණයක් ලෙස අද අප බලශක්තිය නිපදවීම සඳහා වඩාත් භාවිත කරන්නේ ෆොසිල ඉන්ධන දහනය යි. මේවා වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ ජීවත් වූ ජීවින්ගේ අවශේෂවල වර්තමාන ප්‍රතිරූපය ලෙස සැලකිය හැකි යි. විශේෂයෙන් ම වසර මිලියන 300 කට පමණ පෙර ඇරඹුණු කාබොනිෆෙරස් යුගයේ දී අදට වඩා පෘථිවිය මත වගුරුබිම් සහ වැසි වනාන්තර පැවති බව විද්‍යාඥයන් අනුමාන කරනවා. ඒ අනුව වර්තමාන කාල පරිච්ඡේදයට වඩා පෘථිවියේ කාබොනිෆෙරස් යුගය “සුපර්හැබිටබල්” බව පැවසිය හැකි යි.

කාබොනිෆෙරස් යුගයේ දී වර්තමානයට වඩා පෘථිවිය ජීවයට සහාය දැක්වූ බව පැවසෙනවා – www.sciencephoto.com

සුපර්හැබිටබල් වීමේ සාධක

 ග්‍රහලෝකයක් වාසය සඳහා සුදුසු සුපිරි ගණයේ ස්ථානයක් වීම සඳහා බලපාන සාධක කෙරෙහිත් දැන් අවධානය යොමු වී තිබෙනවා. එලෙස සැක කරන එක් සාධකයක් වන්නේ අදාළ ග්‍රහලෝකය කක්ෂගත ව පවත්නා තාරකාවේ වර්ගය යි. පර්යේෂකයන් පවසන අන්දමට “K Dwarf” වර්ගයේ තාරකාවක් ඒ සඳහා වඩාත් සුදුසු විය හැකි යි.

 “K Dwarf” වර්ගයේ තාරකාවකට අපගේ සූර්යයාට වඩා දිගු ආයු කාලයක් තිබෙන හෙයින්, ඒ වටා භ්‍රමණය වන ග්‍රහයකු මත ජීවයේ මූලික සලකුණු ඇරඹීමෙන් පසු පරිණාමය වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. “K Dwarf” තාරකා අපගේ සූර්යයාට වඩා සිසිල් වන අතර, අඩු ස්කන්ධයක් සහ අඩු දීප්තියකින් යුක්ත යි. නමුත්, ඒවාට වසර බිලියන 20 සිට බිලියන 70 දක්වා වූ කාලයක් නොනැසී පැවතීමේ හැකියාව තිබෙනවා. මෙවැනි තාරකා වටා භ්‍රමණය වන ග්‍රහලෝකවල වයසත් සාපේක්ෂ ව වැඩි නිසා පෘථිවියටත් වඩා සංකීර්ණ වූ ජෛව පද්ධතියක් ගොඩනඟා ගැනීමට කාලය ලැබෙනවා.

අපගේ සූර්යයා (වම) G-වර්ගයේ කහ-වාමන ප්‍රධාන අනුක්‍රමික තාරකාවක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. මැද තිබෙන්නේ “K dwarf” අන්දමේ තාරකාවක්. earthsky.org

පෘථිවිය වසර බිලියන 4.5 ක් පමණ පැරණි ග්‍රහලෝකයක් බව සාමාන්‍ය පිළිගැනීම යි. ග්‍රහලෝකයක ජීවය ඇරඹීමෙන් පසු පරිණාමය වීම සඳහා වසර බිලියන 5 සිට 8 දක්වා වූ කාලයක් වැය වීම වඩාත් සුදුසු බව පර්යේෂකයන් යෝජනා කරනවා. සූර්යයාගේ ආයු කාලය වසර බිලියන 10 කට වඩා අඩු බව ඇස්තමේන්තුගත කර ඇති හෙයින්, පෘථිවියට ඇත්තේ සීමිත කාලයක් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

කියවන්න:  Professor Chandra Wickramasinghe Predicts Corona virus in 25th November 2019

පෘථිවිය මත ඕනෑ ම ආකාරයක සංකීර්ණ ජීවයක් පරිණාමය වීම සඳහා දැනටමත් වසර බිලියන 4.5 ක් ගත වී අවසන්. සූර්යයා වැනි තාරකාවන් වටා භ්‍රමණය වන ග්‍රහලෝකවලට යම් අවාසිදායක තත්ත්වයක් පවතින බව එයින් ගම්‍ය වෙනවා. ඇතැම් විට ග්‍රහලෝක මත සංකීර්ණ ජීවයක් ඇති වීමට පෙර මව් තාරකාව මිය යන හෙයින්, ග්‍රහ පද්ධතියත් අභාවයට යනවා. පෘථිවිය ඊට වඩා වාසනාවන්ත ස්ථානයක් බව සලකන්න පුළුවන්. අඩු ආයු කාලයක් ඇති තාරකාවක් (සූර්යයා) වටා කක්ෂගත ව සිටියත්, සංකීර්ණ ජීවි පද්ධතියක් නිර්මාණය කර ගැනීමට පෘථිවියට හැකි වුණා. නමුත්, එය පවත්වා ගැනීමට තරම් දීර්ඝ කාලයක් පෘථිවියට හිමි වෙලා නැහැ. ජීවය තිබුණත්, ජීවය සඳහා සුපිරි ස්ථානයක් ලෙස පෘථිවිය හැඳින්වීමට ෂුල්ස්-මකුච් වැනි විද්‍යාඥයන් මැලි වන්නේ ඒ නිසා යි.

Kepler-186f සහ පෘථිවියේ අපරභාගය සැසඳීමට කළ උත්සාහයක් – www.cnet.com

අනෙකුත් සාධක

ග්‍රහලෝකයක් “සුපර්හැබිටබල්” වීමේ අනෙකුත් සාධක අතර ග්‍රහලෝකයේ ස්කන්ධය වැදගත් භූමිකාවක් ඉටු කරනවා. පෘථිවි ස්කන්ධය මෙන් 1.5 ගුණයක් පමණ වන ග්‍රහලෝකවලට පෘථිවියට වඩා වැඩි කාලයක් අභ්‍යන්තර උණුසුම පවත්වා ගැනීමට හැකි වන අතර, වායුගෝලය වැඩි කාලයක් රඳවා තබා ගත හැකි මට්ටමේ ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් ද පවතිනවා. පෘථිවියට වඩා ජල ප්‍රමාණයක් සහිත උණුසුම් ග්‍රහලෝක (පෘථිවියට වඩා ෆැරන්හයිට් අංශක 8 ක් පමණ උණුසුමක් සහිත) ජීවයට වඩාත් සුදුසු විය හැකි යි. මේ තත්ත්වය පෘථිවියේ නිවර්තන වැසි වනාන්තරවල තත්ත්වය සමඟ සැසඳන බව පර්යේෂකයන් අනුමාන කරනවා.

සුපර්හැබිටබල් ග්‍රහ‍යෙක් අපිට හමුවේවි ද?

සුපර්හැබිටබල් තත්ත්වයක් පැවතීමට හැකියාවක් ඇති බහිර් ග්‍රහලෝක 24 ක් පමණ ඇති බව අපි කලින් සඳහන් කළා. නමුත්, සුපර්හැබිටබල් වීම සඳහා ඉහත සඳහන් කළ සියලු සුදුසුකම් ඔවුන් සපුරාලන බව එයින් අදහස් වන්නේ නැහැ. දහස් ගණනක් වූ ග්‍රහලෝක අතරින් සුපර්හැබිටබල් තත්ත්වය අධ්‍යනය කිරීම සඳහා පමණක් ඔවුන් සුදුසු වෙනවා. ඒ අතරින් KOI 5715.01 ලෙස හඳුන්වන බහිර් ග්‍රහයා සුපර්හැබිටබල් වීමට අවශ්‍ය සුදුසුකම් හතරක් සපුරාලන බව පර්යේෂකයන් අනුමාන කරනවා.

කියවන්න:  A Dean Koontz novel "The eyes of Darkness" written in 1981 predicted the corona virus

මෙම බහිර් ග්‍රහලොව සිග්නස් නමැති තාරකා මණ්ඩලයට අයත් වන අතර, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3000 ක් පමණ ඈතින් පිහිටා තිබෙනවා. KOI 5715.01 හි මව් තාරකාවේ අරය, ස්කන්ධය සහ දීප්තිය පිළිවෙළින් අපගේ සූර්යයා මෙන් 77% ක්, 76% ක් සහ 34% ක් බව ගණන් බලා තිබෙනවා. කෙසේ නමුත්, අදාළ බහිර් ග්‍රහයාගේ මව් තාරකාව අපගේ සූර්යයාට වඩා වසර බිලියනයක් පමණ පැරණි යි.

“ග්‍රහලෝකයක් වාසයට සුදුසු වන ආකාරය සහ අදාළ ග්‍රහයාගේ ජෛව ගෝලය,  ස්වභාවික පරිසරය සමඟ අන්තර්ක්‍රියා කරන අන්දම ගැන අපට මීට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතු යි.”

ෂූල්ස්-මකුච් එලෙස පවසන අතරේ ම අදාළ ග්‍රහලෝක සම්පූර්ණයෙන් ඇගයීම සඳහා ඒවාට ළඟා වීමේ අවශ්‍යතාව ගැනත් සඳහන් කරනවා. නමුත්, මේ සියල්ල ම පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ සිය ගණනක් ඈතින්. දුර සහ කාලය පිළිබඳ ගැටලුව තවමත් මිනිසාට පවතින හෙයින්, වක්‍රාකාර ක්‍රමවේද හරහා මේ ගවේෂණ සිදු කළ යුතු යි. අනාගතයේ දී වඩාත් ප්‍රබල දුරේක්ෂ නිපදවීමෙන් මෙම බාධකය යම්තාක් දුරකට ජය ගැනීමට හැකි වනු ඇති.

Kepler-186f ලෙස නම් කළ ග්‍රහයා ජීවයට වඩාත් සහය දැක්විය හැකි ග්‍රහයෙක් ලෙස සැළකෙනවා. (නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමකි)- www.cnet.com 

තරු අතර අපට හිමි තැන

“සුපර්හැබිටබල් ග්‍රහ සංකල්පය” අනාගතයේ දවසක සත්‍ය වීමේ හැකියාවක් තිබීමට පුළුවන්. නමුත්, පෘථිවියට ඇති වැදගත්කම බිඳක්වත් එයින් අඩු වන්නේ නැහැ. විශ්වය පිළිබඳ අපගේ කුතුහලය වැඩි වන තරමට ම පෘථිවිය කෙරෙහි ඇති සැලකිල්ල අපෙන් ඉවත් වෙමින් තිබෙනවා.

“බොහොම ඉස්සර අහස දෙස බලන විට තරු අතර අපට හිමි තැන ගැන අපි පුදුම වුණා. ඒත් දැන් අපි පොළොව දෙස බලන අතරේ ම අපගේ අපවිත්‍රකම ගැන පසුතැවිලි වෙනවා.”

සුප්‍රකට “ඉන්ටර්ස්ටෙලර්” චිත්‍රපටයේ එක් තැනක ඉහත අර්ථයට සමීප ප්‍රකාශයක් අපට අහන්න ලැබෙනවා. සැබැවින්ම මනුෂ්‍ය අපට තවමත් පෘථිවිය යනු “සුපර්හැබිටබල්” ස්ථානයක්. අප ජීවත් වන්නේ විශ්වයේ පරිපූර්ණ ම තැනක නොවෙන්න පුළුවන්. එනමුත්, තව අවුරුදු දහස් ගණනක් ගත වන තුරු මනුෂ්‍ය වර්ගයාට ඇති එකම විසඳුම පෘථිවිය පමණක් වීමට පුළුවන්. එය විනාශ කරමින් අහස දෙස බැලීම පලක් ඇති ක්‍රියාවක් නොවෙයි.

Writer: Milan Perera

මූලාශ්‍ර:

edition.cnn.com

www.liebertpub.com

exoplanets.nasa.gov