තිස්ස දොඩන්ගොඩ

බත්මැඩිල්ල අමාරු නැත. එහෙත් කොළ මැඩිල්ල ප්‍රවේසමෙන් කලයුතුය.නැතහොත් සකස්කල කෙතද, ශ්‍රමයද, බිත්තර වී ද අපතේ යනු නිසැකය. කොළ මැඩිල්ලට කළවිටක් (කමතක් – කර්මාන්ත කරන තැනක් – පාළි; කලවිටේ කොළ මඩවන ස්ථානය විශේෂිතව කමතක් වේ) උවමනාය. කළවිට, පාවර (පාචර නොවේ…!) නමින්ද හඳුන්වයි.කොළ මැඩිල්ල ගොයම් මැඩිල්ල නමින්ද  හඳුන්වයි.කළවිට කෙළිය ආවාට ගියාවට කල නොහැක. විසාල ශ්‍රම, සම්පත් දායකත්වයකින් ගොඩගත් ගොයම් කොළය සිරිත විරිත අනුවම මැඩගත යුතුය.කොළ මැඩිල්ල මීහරකුන් ලවාද කරගත හැක.. එවිට එය ‘කොළගොං ගැනීම’ නම් වේ.

කළවිට සුභ මොහොතින් පිළියෙල කරගත යුතුය.  දොන් පිලිප්ද සිල්වා ඈපා අප්පුහාමි විසින් රචිත ‘මුහුර්ත චින්තාමණියේ’ කලවිටි නැකැත් අඩංගු බැව් සැලයි..

ඇඳ කව තුනක් එහි දෙහිරක් සිව් දිගට
යොද මිනි නැතක්  දෙයැ ලේ සිව් අතට
මුදුනට නැගෙන හිර ගෙන හිරු නැකත සිට
දකුණට ගනිනු කලවිටි පත පිළිවෙලට

පිටකව දෙවෙනි කව සිටි සොළස සිව් කොන
වැඩ නොව නපුරු තුන්වෙනි කව අට සමන
මැද සිව් උතුම් පෙරයම වරුණ සිව් මෙන
ගනු දෙනු කෙමෙන් නිමවන ලෙස පෙර දිගින

බිම් පිරිසිදු කොට, කුණු රොඩු ඉවත් කොට, උස් පහත් තැන් නැතිවන පරිදි කපා, පුරවා සමබිමක් සැකසිය යුතුය.තෙත් ගතිය ඇත්නම් මාගල් අතුරා සකස් කල යුතුය. වර්ෂාව ඇති වුවහොත් දිය බැස යාමට කමත වටා ගොම්මලකඩ (කාණු) කපා නොඋස් කණු සිටුවා වලල්ලක් (කොටුවක්) සාදා ආරක්ෂා කල යුතුය.මේ සඳහා අටමගලය හැදීමට ගන්නා හීරැල්ල පලු වැල්, තොලබෝ කොල, ගොක්කොල පාවිච්චි කල හැක. අස්වැන්න අමනුස්ස උවදුරු වලින් රැකගැණිම අරමුණය… ඉතිරි හරිය ගොම, පොල් කිරි, හඳුන් මිශ්‍රණයක් ඉස පිරිසිදු කරගත හැක.

අස්වැන්නට ඉව අල්ලන්නෝ බොහෝය. එහෙයින් කමත මැද, අණවින වලින් මිදිමට යම් ආරක්‍ෂාවක් කල යුතුය. කළවිට මැද්දෑවේ වලක් සාදා (අරක් වල) ආරක්ෂාවන් වැලලිය යුතුය. සබරගමුවේදී මේ ආරක්‍ෂා පොට්ටනිය (මුත්තා) පිළිල හත්ව ර්ගයක්, ලෝහ වර්ග, කදුරු කොල,  වරකා ගැටයක්, රබ්බඩ පුවක්ගෙඩි හතක්, යකඩ දැත්තක්, මුතු ඇටයක්, මැණික් කැට ආදියෙන් සමන්විතය.  සියල්ල සුදු රෙදි කඩක ඔතා නැකතට තැන්පත් කොට සුදු හක්බෙල්ලකුගෙන් වසා දමයි.. ඒ මත්තෙහි හීරැස්ස පළු, තොලබෝ, ගොයම් මිටි කිහිපයක්, මදුවැලකින් ඔතා ඇතිරුව මනාය.

කමතක් සැහැ කවය ලෙසට
කැටකර කඳු කොට එක්කොට
වටටම වටමළු එක්කොට
කමත සුද්ද කර විගසට

දවට පිළිල හරි කරගන
දෙහී පිළිල හරි කරගන
නුග පිළිල හරි කරගන
බුලත් පිළිල හරි කරගන

අරක් බෙල්ල හරි කරගෙන
රබ්බඩ ගෙඩි හතක් රැගෙන
කදුරු කොළද හරි කරගන
වරකා ගැටයක් ඇරගන

රත්න ජාති හැකි පමණද
මුතු ඇටයක් සුරැකිව ගෙන
පබළුත් සපයා ඇරගෙන
මෙකි සෑම දේ ඇරගෙන

රිදී රත්තරන් ඇරගෙන
තඹ පිත්තල සපයාගෙන
ලෝකඩ වානේ ඇරගෙන
යකඩෙන් දෑ කැත්තක් ගෙන

සියනෑ කෝරලේ දී මෙය දිවිකදුරු කොල හතකින් සැරසූ අරක්වල මත ඉර හඳ ඇඳි කොහොඹ ලෑලි කැබැල්ලක්, ගැටයක් ගැසූ කොරොස් වැලක්, කටු හක්ගෙඩියක්, කළු ගලක් තැන්පත් කර ඒ වටා අළුවලින් ගොයි උපකරණද, බුදු සිරිපාදයද ඇඳ සකස් කෙරේ. අළු යොදා අඳින හෙයින් ඒ ‘අළුහන් වැඩීම’ ලෙසද හැදීන්වේ. ගොන් කැරැල්ලේ ඇත්තේ ආධුනිකයින් නම් ‘ගොන් කණුවක්’ හෙවත් ‘කපක්’ සිටුවා ගැනීම ඉනික්බිති කල යුතුය.

ගොයමේ බාරකරු විසින් සුදුසු නැකතක් තොරා ගොයම් ගොඩට වැඳ නමස්කාර කොට භාග්‍යවන්ත, පුන්‍යවන්ත තැනැත්තෙක් තෝරා ගොයම් ඇතිරීමට ආරාධනා කල යුතුය… ඒ පුන්‍යවන්ත තෙම, හිසමත තබාගත් ගොයම් මිටියක් (උප්පුඩියක්) ගෙන අරක්වල වටා ගමන් කරමින් පුන්‍යවස්තුවලට සදිසාවෙහි සිට ගෞරව පුද කල යුතුය. අවසන කරල් උඩට සිටිනසේ මුත්තා මත තැන්පත් කල මනාය. සුදුසු නැකත් තෝරාගැනීමට උපදෙස් පහත පුරාණ පලදාවලියෙහි මෙලෙස වේ.

කියවන්න:  සිංහල කවියෙහි මහගම සේකර බලපෑම සහ ඔහුගේ නිර්මාණ

ගුරුකිවි දෙදිනේ උදයේ
සිංහ ලග්නෙ කෙළවරයේ
මඩින ලෙසට කොල රැසයේ
සොඳයයි පෙර රුසි කීයේ

ඉන්පසු කළවිටෙහි ගොයම් තැන්පත් කිරීම කාටත් කළහැකිය.කමතේ දිගටි අතට පේලියට ‘රෑනකන්ද’ක් ලෙස හෝ වෘත්තාකාරව කරල් ඇතුලට සිටින සේ අරක්වල වටා ‘වටමලල’ක් සේ තැන්පත් කිරීම කල හැක.වටමලල, ‘කැටකන්ද’ කියාද ‘ගොයම් කොළකැටිය’ කියාද හඳුන්වයි.

ඉන්පසු ඇත්තේ ගවයන් සකසා ගැනීමය.දෙදෙනෙක් නම් ‘ගොන්බාන’ක්ද ඊට වැඩිනම් ‘ගොන් කැරැල්ල’ක්ද එක්කාසු කොට බාන්වැල් වලින් සෑදූ වලල්ලක ගැටගසා ආම්බන් කර ගත යුතුය. එකට ඈඳූ ජෝඩුව ‘ඈදුත්ත’ නමි. තිදෙනෙක් නම් ‘ගොන් ඇඟේ’ වෙති. සිව්දෙනෙක් ‘ගැලතුම’ හෝ ‘පෙල්ලුව’ වේ. මුලින්ම යන්නා ‘මුදුනා’ වන අතර උගේ කාරිය බැරෑරුම්ය.  මැදින් යන්නෝ ‘කිරිපුස්සා’, ‘දැතුරයා’ හා ‘මට්ටයා’ වෙත්. අන්තිමට යන්නා ‘හෙළතයා’ හෝ ‘කලාතයා’ වන අතර ඒකාට ලොකු වටයක් දිවීමට සිදුවන හෙයින් මහන්සි වැඩිය.

මුදුනේ යන ගොන් රජුනේ
ඊලඟ යන වයිරයිනේ
කලාත යන නාම්බනේ
තොප බලයෙන් කොළ මඩිනේ…

මේ කොතනින් ගෙනා ගොනා
රුහුණු රටින් ගෙනා ගොනා
මේ කුමකට ගෙනා ගොනා
කොළ මැඩුමට ගෙනා ගොනා…

අම්බරුවන්ගේ වෙහෙස නිවීමට’ඕසේ’ ඇදිය හැක… 
එහෙම නැතිනම් කමත් හෑල්ලක් ඇද බෑ හැකිය…

කන්වල රන් ගාවඤ්ඤා
කන්වල මුතු අමුනඤ්ඤා
හුනරේ මිණි බන්දඤ්ඤා
මෙකී ලෙසට සරසඤ්ඤා

අං දෙක රන් බන්දඤ්ඤයි
කං දෙක මේ වර ලඤ්ඤයි
කිනරේ මුතු අමුනඤ්ඤයි
යහපත් කොල මඩවඤ්ඤයි

කොළ මැඩීම කරගෙන යනාතරතුර දෙවි දේවතාවුන්නාන්සේලාගෙන්ද ආරක්ෂාවක් ලැබීමට පිරිතක්ද කී හැක. ඒ කලවිටි පිරිත ලෙසින් ප්‍රචලිතය. කමතේ සතර කොණ මල් පැල සිටුවා පහන් දල්වා සුදු පිරුවට ඇඳ, එක් අයෙක් පිරිත ගායනා කරයි. අනෙක් ගොවි සිවු දෙනෙක් දැති ගෙන මැඩුවන් (පිදුරු) සමගම කරතබා කළවිටි පිරිතෙහි ඉසිඹුවක් පාසා ‘පොලි’ යැයි උස්හඬින් කියයි. ඒ කලවිටි පිරිත කෙසේද යත්:

පළමුව බුදුන් වැඳ – දෙවෙනුව දෙවියන් වැඳ
තෙවෙනුව ගුරුන් වැඳ – කියන් කලවිටි පිරිත් පද බැඳ
සස්සවා නගුලිසුත් – කප්පවා වියදඬුත්
දෙකොණ විත් සතරකුත් – මැද අමුතු බානකුත්

යොදා එදා බදාදා ඇලිගොන් බානක් බැඳ,
මුලේ නැකතින් බස්නාහිර දික්භාගයේ සිට නැගෙනහිර දික්භාගේට එක් සී විටක් සෑවෝද,
නැගෙනහිර දික්භාගයේ සිට බටහිර දික්භාගේට එක් සී විටක් සෑවෝද,
එක් සී සෑවෝද දෙසී සෑවෝද තුන්සී සෑවෝද වැලිමඩ පෝරු ගෑවෝද,
අනුරේ මා නැකතින් බිජුවඩා පැලමල් ඉස්සෝද,
එක්පෙති දෙපෙති තුන්පෙති සතරපෙති පස්පෙත්තේදී ගැටද ගතී,
සපෙති සත්පෙත්තේදී බන්ඩිගති නවපෙත්තේදී පූදගති,
මැස්සන් නොමැස්සන් ශ්‍රී සමනළ සමන්දිව රාජයාගෙන් වැලිමතුරා ඉස්සෝද,
කිරිවැදී පැසී චන්ද්‍ර ගුරුදින හෝරාවෙන් කොලතියා කලවිටි රග්ගල සැස්සෙව්වෝද,
රග්ගල් කඩතෙන් යන්නෝ දෙදාසයි,
එන්නන්ඩ දොර අරවා යන්නන්ඩ දොර අගුලුලවා,
නවයාල දොළොස්මූණූ අටලාසක් අල්ලන,
සන්කඩ කූරපයියක් ඉනේ දරාගෙන,
ඒ ගෙයි දෙද්දෝහෝදෝ මේ ගෙයි දෙද්දෝහෝ කිය කියා ඇවිදිනා ගොපල්ලානන් වහන්සේටයි,
මම් බැස වැඳ මේ ආරාධනා කරන්නේ උන්වහන්සේගේ ආවුද කිනම්,
දැති දැති, රන්දැති, කොසඹ, කොබ්බෑ, කටුපිල යන මේ දැති පසක් ගෙන පස් උකුණකට කොළ ගනිති,
පස්දෙනෙක් වට සිටිති මැඩුනු කොල බාති නොමැඩුනු කොල සලාලති,
ගොවියෝ වැඩ කරති දෙවියෝ වට සිටිති මෙදා මේ කමතට ඉතා යහපති,
සලාසොලියාට අරග්ගනන් පොලී!
දැති දැති…. දැති දැති…. දැති දැති….

ඉරිදා මහ නැකතින්, සමණල මැණික් කොනින්, ඇල්වී ගොන් සත්බානක් ගෙනහැර දැක්වූ සේක…
එක්සී සෑවෝද, දෙසී සෑවෝද, යළි මැඩ පෝර ගෑවෝද, ඒ පිට බිජු ඉස්සෝද,
එක්පෙති, දෙපෙති, තුන්පෙති, හතරපෙති, පස්පෙති, හපෙති, හත්පෙත්තේදී එරන් බණ්ඩියක් හටගත්තාය…
එරන් බණ්ඩියේ වෙසෙන ගොපළු නම් දේවතාවුන් වහන්ස්ගේ වම් උරේ කූරපයියේ පාටවර්ණය කෙසේදැයි අසුවෝතින්,
දැති දැති, රන් දැති, රිදී දැති, නික, කොසොම්, කොබ්බෑ, කටුපිල,
මේ නම් දැති පසක් ගෙන පස් උකුණක් කඩා ගොවියෝ වැඩ කරති…
දෙවියෝ වට සිටිති…
මේ කමතට ඉතා යහපති…
පොලී…


මේ අවු අස්සේ ‘ආණ්ඩු කිරීමද’ කල හැක…
කමතේ ආණ්ඩු කරන්නේ මැඩුවන් සුවල්පයක් අවුලුවා ගෙන දැති ගොයියාගේ අමුණා කරතබාගෙන කමත් සැහැලි කියමින් කලවිට වටේ යාමෙනි…

‘දැති දැති කුමණා දැති
කොබ්බෑ, කොසොඹ දැති
කටුපිලද, නික, දෙමට දැති
පස් දෙනෙක් කොල සලා එලති
එරජ කමතට ඉතා යහපති…’



ඒ කමතෙත් සිංහලයෝ – මේ කමතෙත් සිංහලයෝ
කමත මැදින් අරක් වලේ – වට කරගෙන ගොයම් කොළේ
අඬහැර පානා… අඬහැර පානා…

ඔයි රයිරේ ඔයි රාමා – කොළ මැඩපන් ඔයි රාමා
ඔයි රයිරේ ඔයි රාමා – කොළ මැඩපන් ඔයි රාමා

දිය බැඳලා පුරන් කොටා – එක යායට වී වපුරා
සිංහල කෙත සරු කරලා – අස්වනු නෙලුවා

රන් වියදඬු රන් හී වැල් – රිදී කෙවිටි රිදී නගුල්
ඔයි රයිරේ ඔයි රාමා – කොළ මැඩපන් ඔයි රාමා

සූ‍‍ර්‍ය දෙවියනේ අප රැකගන්නේ – චන්ද්‍ර දෙවියනේ වරමක් දෙන්නේ
ඔයි රයිරේ ඔයි රාමා – කොළ මැඩපන් ඔයි රාමා

අලුත් බතක් ගෙට ගන්නයි – අලුත් ලොවක් දැක ගන්නයි
හෙළ ජාතික සමගි බලේ සවිමත් වේවා – සවිමත් වේවා… සවිමත් වේවා…

කියවන්න:  දිවි මඩලෙන් බැසගිය ආචාර්ය ජයලත් මනෝරත්න

ඇසුරු කලා:
සිංහල ජනසම්මත කාව්‍ය (1935 / 2012): ආතර් ද සිල්වා / ගුණපාල මලලසේකර
සිංහල සැහැලි (1957/2009): විභාවී විජයශ්‍රීවර්ධන
නව සංස්කෘති (1986) 1 කලාපය – 2 සඟරාව: කමත හා බැඳි ගොවි සිරිත්
කමත් හෑල්ල (1994 /2008) මඩකුඹුරේ නෝමන් සිරිපාල